සංවර්ධන පනත් කෙටුම්පතට උතුරත් එරෙහි වේ

Friday, 23 December 2016 - 12:44

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අරලියග මන්දිරයේ පස්වරු 3 ට පැවැත්වෙන මෙම හමුවේදී සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම ප්‍රධාන අමාත්‍යවරුන් ඊට සහභාගිවන බවයි බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පතට කිසිදු මහ ඇමතිවරයෙකුගේ එකඟතාව පළ නොවන බවයි ඔහු එහිදී කියා සිටියේ.

මේ අතර මෙම පනත් කෙටුම්පත සඳහා ඊයේ ඌව පළාත් සභාවේ ඡන්ද විමසීමක් පැවති අතර එහිදී එය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණ.

පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 13 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 9 ක් පමණයි.

නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙම කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර, සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඡන්දය භාවිතා කළේ පනත් කෙටුම්පතට පක්ෂවයි.

කෙසේ වෙතත් මෙහිදී  ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පනත් කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.

හිරු ප්‍රවෘත්ති අංශය ඌව පළාත් මහ ඇමතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ පළාතේ මහ ඇමතිවරයා ලෙස තමන් එම අවස්ථාවේදී ස්වාධීනව කටයුතු කරන බවයි.

මේ අතර සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරමින් උතුර පළාත් සභාවද අද යෝජනාවක් සම්මත කරගත්තා.

උතුර පළාත්  සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ ඒ සඳහා පළාත් සභාවේ ඒකමතික අනුමැතිය හිමිවූ බවයි.

අදාළ පනත් කෙටුම්පත විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී මන්ත්‍රීවරුන් පියවර ගෙන ඇත්තේ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උතුරුමැද පළාත් සභාවේද මේ වනවිට විවාදයක් පැවැත්වෙනවා.

පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මෙය අද පළාත් සභාව වෙත ඉදිරිපත් කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.