පළාත් 3 ක් සංවර්ධන පනත් කෙටුම්පතට විරුද්ධයි - වෙනස් කරන්න අගමැති එකඟ වේ

Friday, 23 December 2016 - 18:56

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%9A
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන යෝජනාව උතුරුමැද පළාත් සභාවේදී අද (23) වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.

ඊට අදාළව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 10 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19 ක්. මහ ඇමති පේෂල ජයරත්න ඇතුලු සන්ධාන මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා අද සභා වාරයට සහභාගි වී නැහැ.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න කියා සිටියේ අදාළ පනත් කෙටුම්පතේ පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් එය පරාජය කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කරමින් උතුර පළාත් සභාවද අද යෝජනාවක් සම්මත කරගත්තා.

උතුර පළාත්  සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ ඒ සඳහා පළාත් සභාවේ ඒකමතික අනුමැතිය හිමිවූ බවයි.

අදාළ පනත් කෙටුම්පත විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී මන්ත්‍රීවරුන් පියවර ගෙන ඇත්තේ.

 මෙම පනත් කෙටුම්පත ඊයේ ඌව පළාත් සභාවේ ද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණා.

පනත් කෙටුම්පතට එරෙහිව ඡන්ද 13 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡුන්ද 9 ක් පමණයි.

නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා මෙම කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර, සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඡන්දය භාවිතා කළේ පනත් කෙටුම්පතට පක්ෂවයි.

මහඇමති චාමර සම්පත් දසනායක ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.

කෙසේ වෙතත්, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟ වූ බව අද පස්වරුවේ වාර්තා වුණා.

ඒ පළාත් මහඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාවට පළාත් මහඇමතිවරුන් 5 දෙනෙකු සහභාගි වී සිටියේ නැහැ.

බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ ඌව යන පළාත් වල මහඇමතිවරුන් සාකච්ඡාවට එක්ව සිටියා.

සාකච්ඡාවෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ දකුණු පළාත් මහඇමති ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කළේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතින් පළාත් සභාවලට බලපාන කරුණු  සංශෝධනය කර එය යළි ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

 මේ අතර, සුපිරි අමාත්‍යවරයෙකු බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් එකඟ නොවන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහනුවර - දෙල්තොට ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය එස්.බී.දිසානායක

පළාත් සභාවේ විතරක් නෙවෙයි, ඇමති මණ්ඩලයේත් ඒක පරාද වෙයි එහෙම එකක් ආවොත්. එහෙම සුපිරි ඇමතිවරු හදන්න බෑ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීයටවත් එකඟ නෑ. නමුත් ඉතිං සුපිරි ඇමති කෙනෙක් හදන්න  ඕන නෑ කවුරු වුණත්. දැන් අපේ ජනාධිපතිතුමා, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එතුමා ළඟ තිබ්බ සමහර බලතල අගමැතිතුමාට දුන්නා. තව සමහර බලතල ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට දුන්නා. තව බලතල පාර්ලිමේන්තුවට දුන්නා. එහෙම දීපු රටක සුපිරි ඇමතිවරයෙක් හදන්නේ කොහොමද ? එහෙම ඔය කියන වගේ මහ ලොකු යක්ෂයෙක් මැවුනෙත් නෑ, ආවෙත් නෑ. එහෙම මේ ආයතනයක අවශ්‍යතාවය රටේ තියෙනවා, නමුත් එහෙම ඇමතිවරයෙක් හැදීම පිළිබඳ මේ මේ අදහස නිකම් සාකච්ඡා වෙලා ඒක පැත්තකට ගියා.