උදම්මිට සමරේගේ ඝාතකයන් අල්ලන්න CCTV පිරික්සයි

Sunday, 25 December 2016 - 18:17

%E0%B6%8B%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+CCTV+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92
වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසළ දී උදම්මිට සමරේ නමැති පාතාල සාමාජිකයා වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් සෙවීම සඳහා සීසි ටීවී. කැමරා දර්ශන ඔස්සේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඝාතකයින් සුදු පැහැති ජිප් රථයකින් පැමිණි බවට සැක කෙරෙන නමුත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ජානක සමන්ත සමරදිවාකර හෙවත් උදම්මිට සමරේ නැමැත්තා තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමඟ හයිබ්‍රිඞ් වර්ගයේ මෝටර් රථයකින් යමින් සිටියදී ඊයේ රාත්‍රියේ 11 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

මොවුන් දානමයකට අවශ්‍ය එළවළු රැගෙන වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට කලගෙඩිහේන දෙසට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෝටර් රථය පැදවූ උදම්මිට සමරේ නැමැත්තා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රථයේ ඉදිරිපස අනෙක් අසුනේ සිටි පුද්ගලයා ද  වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

ටී - 56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගෙන ඇති අතර, මෝටර් රථයේ ඉදිරිපස අසුන් දෙපස පිහිටි වීදුරුවල වෙඩි සලකුණු දක්නට ලැබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථය තුළින් ද වෙඩි ප්‍රහාර එල්ල වූයේ ද යන්න පිළිබඳව ද විමර්ශන සිදුකරන බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා සදහන් කළේ.

වෙඩි වැදී මිය ගිය 42 හැවිරිදි උදම්මිට සමරේ නැමැත්තා ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට ඇප මත නිදහස්ව සිටින අයෙක්.

2010 වසරේදී නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපතිවරයාව සිටි ඩිල්ශාන් සුරංග ඝාතනයට අනුබලදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම 2004 වසරේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පුද්ගලයෙකු ගෙළ කපා ඝාතනය කිරීමට තැත් කිරීම, නිට්ටඹුව - වැලිකඩමුල්ල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව අධිකරණයේ නඩු විභාග වන බවයි පොලීසිය කියා සිටියේ.