උදම්මිට සමරේ ඝාතනයට පැමිණි වාහනය ගැන තොරතුරු

Monday, 26 December 2016 - 7:45

%E0%B6%8B%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අසළ දී උදම්මිට සමරේ නමැති පාතාල සාමාජිකයා වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි මෝටර් රථයේ බවට සැක කෙරෙන වාහනයක අංකයක් CCTV  දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව සැකකරුවන් පැමිණ ඇත්තේ සුදු පැහැති ජීප් රථයකින්.

ජානක සමන්ත සමරදිවාකර හෙවත් උදම්මිට සමරේ නැමැත්තා තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමඟ හයිබ්‍රිඞ් වර්ගයේ මෝටර් රථයකින් යමින් සිටියදී පෙරේදා රාත්‍රියේ 11 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

මොවුන් දානමය කටයුත්තකට අවශ්‍ය එළවළු රැගෙන වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට කලගෙඩිහේන දෙසට යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෝටර් රථය පැදවූ උදම්මිට සමරේ නැමැත්තා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව වූ අතර, රථයේ ඉදිරිපස අනෙක් අසුනේ සිටි පුද්ගලයා ද වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

වෙඩි වැදී මිය ගිය 42 හැවිරිදි උදම්මිට සමරේ නැමැත්තා ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට ඇප මත නිදහස්ව සිටින අයෙක්.

2010 වසරේදී නිට්ටඹුව වෙළඳ සංගමයේ සභාපතිවරයාව සිටි ඩිල්ශාන් සුරංග ඝාතනයට අනුබලදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම 2004 වසරේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පුද්ගලයෙකු ගෙළ කපා ඝාතනය කිරීමට තැත් කිරීම, නිට්ටඹුව - වැලිකඩමුල්ල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව අධිකරණයේ නඩු විභාග වන බවයි පොලීසිය කියා සිටියේ.