උඩුවේ හිමියන්ට අධිකරණයෙන් අවවාද

Tuesday, 03 January 2017 - 12:51

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
අධිකරණ නියෝගවලට අනුව කටයුතු කරන ලෙස පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණය අද අවවාද කළා.

ඒ, මෙම විහාරස්ථානයේ අලුයම පහේ සිට හය දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මඟින් තමන්ට පීඩාවක් සිදුවන බවට හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

මෙහිදී පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණයට කියා සිටියේ උඩුවේ ධම්මාලෝක හිමියන් අධිකරණ නියෝගවලට පටහැනි කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විත්තිකාර පාර්ශවය වෙත කියා සිටියේ ආගම් ඇදහිය යුත්තේ අන් අයට හිරිහැරයක් නොවන ලෙස ශ්‍රද්ධාවෙන් බවයි.

එබැවින් විත්තිකාර  පාර්ශවය නීිතියට ගරු කළ යුතු බවද විනිසුරුවරිය ප්‍රකාශ කළා.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ සිටින ඇලන් මැතිණියාරාමයේ අලුයම පහේ සිට හය දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය වලක්වාලමින් අධිකරණය පසුගිය දෙසැම්බර් මස 06 වැනිදා කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කළා.

කෙසේ වෙතත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිල්ල සඳහා විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව මේ මස 24 වැනිදා පැමිණිල්ල සම්බන්ධයෙන් නෛතික සහ මූලික විරෝධතා ගොනු කරන ලෙස විත්ති පාර්ශවයට විනිසුරුවරිය දැනුම් දුන්නා.