මිරිජ්ජවිල උණුසුමෙන් පසු 23 ක් රෝහලේ - පොලිසියේ 11 කුත් ඒ අතර

Saturday, 07 January 2017 - 18:46

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+11+%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
හම්බන්තොට - මිරිජ්ජවිල ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා සංවර්ධන කලාපය අද (07) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, මෙම උත්සවය ආරම්භ වීමට පෙර සිටම උත්සව භූමිය අවට ක්‍රියාත්මක වූ විරෝධතා හේතුවෙන් එම ප්‍රදේශයේ ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්.

ශ්‍රී ලංකාව සහ චීනය එක්ව ඉදිකෙරෙන නව ආයෝජන කලාපය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අද පෙරවරු 9.30 ට පමණයි.

උත්සව ආරම්භ වීමට පෙර එම ව්‍යාපෘතියට එරෙහි පිරිස් ප්‍රදේශ කිහිපයක සිට විරෝධතා පෙළපාලි වලින් උත්සව භූමිය වෙත පැමිණියා.

විරෝධතා පෙළපාලි ආරම්භ වූයේ අම්බලන්තොට - සුබෝදාරාම විහාරස්ථානයෙන්. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජන නියෝජිතයන් මෙන්ම, සංඝරත්නය සහ ප්‍රදේශයේ ජනතාව ද එම විරෝධතාවයට එක්ව සිටියා.

අද (07) පෙරවරුව වනවිට චීන - ශ්‍රී ලංකා සංවර්ධන කලාපය ආරම්භ කිරීමට යෝජිත භූමි ප්‍රදේශය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර, උත්සව භූමියට පිවිසෙන සියලූ ප්‍රවේශ මාර්ග ද වසා දමා දැඩි පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ග මග හරිමින් කැලෑබද අතුරු මාර්ග ඔස්සේ මිරිජ්ජවිල උත්සව භූමිය ආසන්නයට පැමිණ තිබුණා.

එලෙස පැමිණෙන අතරතුර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇති බිය මෙම සිද්ධියෙන් මනා ලෙස පැහැදිලි වන බවයි.

ඔවුන් මෙලෙස විරෝධතා දැක්වූයේ අද සිට දින 14 ක කාලයක් හම්බන්තොට ප්‍රදේශයේ තෝරා ගත් ස්ථාන 6 ක උද්ඝෝෂණ, පෙළපාලි, රැස්වීම් පැවැත්වීම හෝ ඊට නායකත්වය දීම තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි.

අදාළ නියෝගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු වගඋත්තරකරුවන් 26 දෙනෙකු සදහා නිකුත් කර තිබුණා.

උත්සව භූමිය ආසන්නයට විරෝධතාවයේ නිරත පිරිස පැමිණීමත් සමග ඔවුන් සහ උත්සව භූමිය තුළ සිටි පිරිස් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

උත්සව භූමියට පිටතින් සිටි විරෝධතාකරුවන් මෙන්ම උත්සව භූමිය තුළ සිටි පිරිස් ද එකිනෙකාට ගල්මුල් ප්‍රහාර එල්ල කරගනු ලැබුවා.

මෙම අවස්ථාව පාලනය කිරීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරලි මර්දන ඒකකය ද කැදවා තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

කෙසේ වෙතත්, ගැටුම්කාරි තත්ත්වය උග්‍ර වූ අතර, පසුව එය පාලනය කිරීමට අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තා.

මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර ද ගැටුම ඇති වූ ස්ථානයට පැමිණියා.

තත්ත්වය උග්‍ර වීමත් සමග කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි පොලිසිය කටයුතු කළේ.

මෙම ගැටුමේදී 23 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 11 දෙනෙකු පොලිස් නිලධාරින් බවයි හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.




      

ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර