හම්බන්තොට දී අධිකරණ නියෝග කැඩූ තවත් 21 දෙනෙකු රිමාන්ඩ්

Sunday, 08 January 2017 - 18:30

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+21+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අධිකරණ නියෝග කඩ කරමින් හම්බන්තොට ප්‍රදේශයේ උද්ඝෝෂණයේ නිරත වෙමින් පොදු දේපළවලට හානි සිදුකිරීමේ චෝදනාව මත අද දිනයේත් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පනස් දෙදෙනා ද ඇතුළුව හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 63ක්.

එමෙන්ම ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතරින් 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, තවත් 21 දෙනෙකු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ අනුව හම්බන්තොට - මිරිජ්ජවිල ඊයේ ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මුළු සංඛ්‍යාව 44ක්.
 
හම්බන්තොට - මිරිජ්ජවිල චීන - ශ්‍රී ලංකා කර්මාන්ත සහ මනා සංවිධාන කලාපයේ වැඩ කටයුතු ඊයේ ආරම්භ කෙරුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එරෙහිව පිරිසක් සිදුකළ විරෝධතා හේතුවෙන් ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.

ඊයේ දිනයේ සිට දින 14ක කාලයක් හම්බන්තොට ස්ථාන කිහිපයක විරෝධතා, උද්ඝෝෂණ සහ රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබූ පසුබිමකයි මෙම විරෝධතා සිදුකෙරුණේ.

කර්මාන්ත කලාපයේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණ නියෝග කඩ කළ පුද්ගලයන් සොයා පොලීසිය ඊයේ පස්වරුව වන විට මෙහෙයුම් ආරම්භ කළා.

ඒ අනුවයි ඊයේ දිනයේම සිද්ධිය සම්බන්ධයෙන් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
 
විරෝධතාවයේ නිරත වූ පිරිස්වලට අධිපීඩන ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවලදී මෙන්ම උත්සවවලදී දේශපාලනඥයින් අදහස් පළ කළා.
 
මේ අතර, ඊයේ ඇති වූ සිද්ධිය පිළිබඳව අදහස් පළ කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මේ, එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියා සිටියේ නොමඟ යැවූ ජනතාව උත්සව භූමියට ඇතුළුවීමට ඉඩ ලබා දුන්නේ නම් විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ද හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව මතවාදී අරගලයක නිරත වුවද එහෙත් ඔවුන් මෙලෙස නොහැසිරීම පිළිබදව සිය ස්තූතිය පළ කරන බවයි ඔහු කියා සිටියේ.