වෛද්‍ය සභාවේ අත්බෝම්බය ගැන වෛද්‍යවරු කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

Saturday, 13 May 2017 - 18:36

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොළඹ 10 - නොරිස් කැනල් පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය බස්නාහිර පළාත් අපරාධ හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ නියෝග පරිදි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට එම ස්ථානයට අපරාධ පරීක්ෂණ නිලධාරින් කැදවා සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, රජයේ රස පරීක්ෂක නිලධාරින් ද ඊට අදාළ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ වෛද්‍ය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ රාජකාරියේ නිරත මුරකරුට ගල් කැටයක් වැනි යමකින් දමා ගසන ශබ්දයක් ඇසී ඒ පිළිබඳව විපරම් කර තිබෙනවා.

එහෙත් ඔහුට නිසි පරිදි ආලෝකය සපයාගැනීමට තිබූ නොහැකියාව හේතුවෙන් ඒ පිළිබඳ යළි සොයා බලා ඇත්තේ අද උදෑසනයි.

එහිදී ගොඩනැගිල්ලේ බිත්තිය ආසන්නයට පතිත වී තිබූ මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති අතර, පසුව ඒ පිළිබඳව ඔහු මරදාන පොලීසියට දැනුම්දී තිබුණා.

මෙම සිද්ධිය පිළිබදව මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඔවුන් සදහන් කර ඇත්තේ සයිටම් විරෝධී සටන ඉදිරියට ගෙන යමින් සිටින මොහොතක මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණ වටහා ගැනීම දුෂ්කර නොවන බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන ලෙස ආණ්ඩුවට බල කර සිටින බව ද ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා රජයට සතියක කාලයක් ලබාදෙන බවයි.

එසේ නොවුනහොත් මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව රැස්වී ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී එහි කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ වෛද්‍ය සභාව පාලකයින්ගේ වුවමනා ඉෂ්ඨ නොකරන තත්ත්වයක් තුළ ඒ වෙනුවෙන් පෙනී සිටින බලවේග නීතිය හමුවට රැගෙන විත් මර්දනය කිරීමට උත්සාහ කරන බවයි.

යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් වෛද්‍ය සභාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මැදිහත් වී කටයුතු කරන්නේ දැයි ප්‍රශ්න කර සිටියා.   

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස්පතිවරයා කියා සිටියේ කිසිදු අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදුනොවන ආකාරයට මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවට සහතික වන බවයි.