උසස් පෙළ ප්‍රශ්න පිටවීම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

Monday, 21 August 2017 - 17:04

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු යැයි පැවසූ පුද්ගලයකු විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාවේ අඩංගු මෙවර රසායන විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයට ඇතුළත් ප්‍රශ්න කිහිපයක් පිට කර ඇත්තේ විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව පැහැදිලිවන අතර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසන්නේ විභාගයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති කරගත යුතු නැති බවයි.

විභාගය පැවැත්වුණු දින උදෑසන විභාගය ආරම්භ වූ පසු විභාග ශාලාවේ සිටි පුද්ගලයෙකු හරහා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න කිහිපයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිදුකල මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් අනතුරුව සැලසුම් සහගතව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් සකස් කරගත් අදාළ ප්‍රශ්න ද ඇතුළත් අත් පත්‍රිකාව  විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම මුද්‍රණය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල උපකාරක පන්ති ගුරුවරයෙකු බව පැවසූ පුද්ගලයාගේ පියා සහ සොයුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, තම පටු ලාභ අරමුණු වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදු කරමින් දරුවන් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවද අපහසුතාවයට පත්කරන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සඳහන් කළා.

පසුගිය කාලයේ සිදුවූ විභාග වංචා, ප්‍රශ්නපත්‍ර පිටවීම්  වලක්වා විභාග පැවැත්වීමේ දී විධිමත් සහ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, ඒ සම්බන්ධ විශ්වසනීයත්වයක් සමාජ තුළ ඇති කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම කණගාටුදායක තත්ත්වයක්  බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මීට අදාලව සිදුකෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ කරුණු විමසූ අමාත්‍යවරවයා සිද්ධියට සම්බන්ධ වූවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසට ද පොලිසියට උපදෙස් ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද අභ්‍යන්තර පරීක්ෂණක් ආරම්භ කර තිබෙනවා.

උසස්‌ පෙළ රසායන විද්‍යාව (II) ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්‌ සම්පූර්ණයෙන්මද, තවත් ප්‍රශ්න දෙකක කොටස්‌ද පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු විසින් මුද්‍රණය කරනු ලැබ විභාගය අවසන් වූ මොහොතේම බෙදා හැරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වනු ලැබුවා.

පෙරේදා (19 වැනිදා) පෙරවරුවේ මෙම විභාගය පැවැති අතර පෙරවරු 11.30 ට විභාගය අවසන් වීමත් සමගම ගම්පහ රත්නාවලී බාලිකා විදුහල් විභාග මධ්‍යස්‌ථානයෙන් පිටතට පැමිණෙන සිසුවියන්ට එම ප්‍රශ්න ඇතුළත් පත්‍රිකාවක්‌ බෙදාහැර තිබෙනවා.

උසස් පෙළ විභාගයට අදාළව අනුරාධපුර - පදවි පරාක්‍රමපුර අංක 1407 දරණ විභාග මධ්‍යස්ථානයේ දී පසුගිය සෙනසුරාදා ලබාදුන් රසායන විද්‍යා දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රයක් අදාළ ප්‍රශ්න පත්‍ර පැකට්ටුවෙන් අඩු වී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කළා.

එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කියා සිටියේ රසායනික විද්‍යාව පැවැති පසුගිය සෙනසුරාදා දිනයේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු බෙදා හැර ඇති අත්පත්‍රිකාව සදහන් වූ අනුමාන ප්‍රශ්න පත්‍රයේ සහ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමාන බවයි.

ඒ අනුව ගම්පහ - රත්නාවලි බාලිකා විද්‍යාලය අසළ දී මෙලෙස අනුමාන ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකා බෙදා හැරි උපකාරක ගුරුවරයා සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

එමෙන්ම තම දෙපාර්තමේන්තුව ද සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර කියා සිටියේ.

මේ අතර, ඊයේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව මහනුවර - වත්තේගම - පරණගම මධ්‍ය මහා විද්‍යාල මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි සිසුන්ට කාලය පිළිබඳව ගැටළුවක් ද මතු වුණා.