උසස් පෙළ විභාග අවුල සී.අයි.ඩී.යට - පළා ගිය ගුරුවරයා අල්ලන්න දුරකථන පිරික්සයි

Tuesday, 22 August 2017 - 7:15

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92
මෙවර උසස් පෙල විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටව ඇති බව කියන සිද්ධිය පිළිබදව විමර්ශනය රහස් පොලීසියට භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර ගුරුවරයාගේ පියා සහ සහෝදරයාගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි.

සිද්ධියට අදාල අත් පත්‍රිකාව මුද්‍රණය කර ඇත්තේ විභාගය පැවැත්වෙන කාල සිමාවේදි බවට මුලික පොලිස් පරික්ෂණ වලදි හෙලිවී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් කරමින් ඊයේ සදහන් කළේ.

විභාගය පැවති පසුගිය සෙනසුරාදා රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් සිය අවසන් සම්මන්ත්‍රණයේදි සාකච්ඡාවට ලක්කල බව පවසමින් එම අත්පත්‍රිකාව බෙදා හැර තිබුනේ ජිනෙන්ද්‍ර රණසිංහ නැමති උපකාරක පංති පවත්වන ගුරුවරයෙකු විසින්.

පසුව විභාග කොමසාරිස් ජේනරාල්වරයා පොලිස් මුලස්ථානයට කල පැමිණිල්ලකට අනුව ගම්පහ පොලිසිය මේ පිළිබදව විමර්ශනයක් ආරම්භ කලා.

ඒ අනුව ඊයේ සැකකාර ගුරුවරයාගේ පියා සහ සහෝදරයා කදාන - දකුණු බටගම ප්‍රදේශයේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත්තේ ගම්පහ පොලිසිය මගින්.

සැකකාර ගුරුවරයාගේ පරිගණකයේ සකස් කළ අත්පත්‍රිකාවේ අනුරුවක් සහෝදරයාගේ ටැබ් පරිගණකයට ලැබී ඇති අතර, එය මුද්‍රණය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

එලෙස මුද්‍රණය කළ අත්පත්‍රිකාව බෙදා හැරීම සහ ඒ සදහා නියෝජිතයින් සම්බන්ධ කර ගැනීම අත්අඩංගුවට ගත් 67 හැවිරිදි පියාට එල්ල වී ඇති චෝදනාව වනවා.

ඔවුන්ගේ නිවසේ තිබී අදාළ ටැබ් පරිගණකය සහ රුපියල් නව ලක්ෂයක මුදලක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

එමෙන්ම අදාළ අත් පත්‍රිකාව මුද්‍රණය කළ පුද්ගලයා ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශනයක් සිදුකරන බවයි සිද්ධිය පිළිබද විමර්ශනයක් සිදුකරන ගම්පහ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

එමෙන්ම ඔහු පසුගිය දින කිහිපය තුළ භාවිතා කළ දුරකථන ඇමතුම් ඔස්සේ ද පරීක්ෂණ සිදුකරන බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ලංකා ගුරු සංගමය ද කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව මට්ටමින් ඇති වී ඇති ගැටළුව පිළිබද වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.