දේවාලයේ අවුල සොයන්න විශේෂ නිලධාරියෙකු කතරගමට

Tuesday, 22 August 2017 - 19:12

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7
රුහුණු කතරගම මහා දේවාලයේ කපු මහතුන් සහ බස්නායක නිලමේවරයා අතර මතුවූ අර්බුදයක් හේතුවෙන් අලූයම පූජාව නොපැවැත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු අද (22) කතරගමට පිටත් කර යැවුණා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර කියා සිටියේ අදාළ වාර්තාව හෙට දිනයේදී ලබාගැනීමට නියමිත බවයි.

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතුන් අතර ඇතිවු අර්බුදය නිසා අද දේවාලයේ අලූයම පූජාව පැවැත්වුණේ නැහැ.

ඉතිහාසයේ පළමු වරට එවැන්නක් සිදුවූ බවයි දේවාල භාර කපු මහතුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් පූජාවට පැමිණි බැතිමතුන් දැඩි අසීරුතාවයකට පත්ව නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.

කතරගම මහා දේවාලයේ කපු මහතුන් චෝදනා කරන්නේ අද අලූයම එහි පැමිණි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී.කුමාරගේ කිසියම් පිරිසක් සමඟ පැමිණ දේවාලයේ යතුර බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

කෙසේ වෙතත්, කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඞී.පී.කුමාරගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දේවාලයේ කපු මහතුන් එය විවෘත කිරීමට ඉඩ ලබානොදී ඊට බාධාවන ආකාරයෙන් කටයුතු කළ බවයි.

අලූයම 4.30ට විවෘත කිරීමට නියමිත දේවාලය පෙරවරු 7 ට පමණ විවෘත කෙරුණේ පොලිසිය ප්‍රදේශවාසීන් සහ බැතිමතුන්ගේ මැදිහත්වීමෙන්.