නව විගණන පනත් කෙටුම්පත කඩිනමින් ගෙන එන බව ජනපති, කියයි

Wednesday, 30 August 2017 - 10:12

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව තුල කවරෙකු සිටියත් නැතත් 2020 දක්වා වත්මන් ආණ්ඩුව පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

එමෙන්ම, දූෂණ සහ වංචා චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද හෝ එක්සත් ජාතික පක්ෂය ද යන්න පිළිබඳව තමන්ට ගැටලුවක් නොවන බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද පෙරවරුවේ පැවති හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.

නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උළෙල  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මෙම හමුව පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

නව විගණන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම කටයුතු ප්‍රමාද වීම පිළිබඳව තමා කණගාටුව ප්‍රකාශ කළා.

ලබන ඉරිදා බොරැල්ල - කැම්බල්පිටියේ පැවැත්වෙන නිදහස් පක්ෂ 66 වන සංවත්සර උළෙල පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් එකමුතුවීම මෙවර සංවත්සරයේ තේමාව වී ඇති බවයි.

උගත් තරුණ පරපුර දේශපාලනය පිළිබඳව අද වනවිට කලකිරී ඇති බැවින් ඔවුන්ට ආදර්ශයක් වන අයුරින් දේශපාලඥයින් හැසිරිය යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයාගෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම පිළිබඳව ද විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එය එක්සත් ජාතික පක්ෂය විසින් ගත් තීරණයක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු ලබාදෙමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ තමන් කිසිදු අවස්ථාවක පක්ෂ සභාපතිත්වය බලෙන් ලබා නොගත් බවයි.

නීති්‍යානුකූල ලෙස තීන්දු තීරණ ගැනීමෙන් පසු තමන්ට පක්ෂ සභාපතිත්වය පිරිනැමීමට පක්ෂය කටයුතු කළ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.