සමානාත්මතාව පිළිබිඹු කෙරෙන හජ් උත්සවය අදයි

Saturday, 02 September 2017 - 7:46

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%B9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B6%A2%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බෙදීම් පමණක් දිස්වන ලොවක, අනොන්‍ය බැදීම මෙන්ම නායකත්වයට අවනත වීමේ ශික්ෂණය සමාජගත කරනු ලබන හජ් උත්සවය ලොවට දෙන උතුම් පණිවුඩය වන්නේ, සමානාත්මතාව තුළ ගොඩනැගෙන සමාජ සාධාරණත්වය බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් හජ් වන්දනාවේදී එකට එක්ව එකම අරමුණකට නතුව, එකම භූමියක රැස් වන්නේ සහජීවනයේ මහිමය පිළිබිඹු කරමින් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒබ්‍රහම් ශුද්ධෝත්මයන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප වීම සංකේතවත් කරන හජ් උත්සවය සෞදි අරාබියේ මැකා නුවර වාර්ෂික හජ් වන්දනාවේ උත්කෘෂ්ඨ අවස්ථාවයි.

ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් අද දින හජ් උත්සවය සමරනු ලබන්නේ එය පරිත්‍යාගයේ දිනයක් ලෙස සලකමින්.

හජ් උත්සවය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් මිදී තමන් සන්තක දෑ අන්‍යයන් හා බෙදා හදා ගැනීම සහ සමානාත්මතාව ගොඩනැගීම ආදී උතුම් පරමාර්ථ සඳහා හජ් උත්සවයේ ප්‍රමුඛස්ථානයක් හිමි වන බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද මෙහිදී සුබ පැතුම් පණිවුඩයක් එක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ හජ් උත්සවය මගින් දෙවියන් සහ මානව ප්‍රජාව කෙරෙහි කැපවීමේ වැදගත්කම පිළිබිඹු කෙරෙන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මෙහිදී සුභාශිංසන පණිවුඩයක් නිකුත් කළ අතර, එමගින් ඔහු ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් වෙත සඳහන් කළේ හජ් උත්සවය ජාති, භාෂා හෝ සමාජ තත්ත්වය බිඳලමින් එකමුතුබවක් ඇති කරන මහෝත්සවයක් බවයි.