5 වන එක්දින තරඟය අද

Sunday, 03 September 2017 - 8:53

5+%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒ, දිවා රාත්‍රී තරගයක් ලෙසින්.

මේ වනවිටත් 4ට 0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

දෙරට අතර පැවති 4 වන තරගය ඔවුන් ලකුණු 168 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ලද දරුණුතම පරාජය සටහන් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම, 2019 ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව සුරක්ෂිත කර ගැනීමට ද ඒ හේතුවෙන් නොහැකි වුණා.  

මේ අතර, අද තරඟය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන කියා සිටියේ ක්‍රීඩකයින්ට කුඩා ඉලක්ක ලබාදී ඇති බවයි.

අවිශ්ක ගුණවර්ධන සඳහන් කළේ මේ දිනවල කණ්ඩායමේ මානසික මට්ටම ඉහළ දැමීම සඳහා වැඩි වශයෙන් අවධානය යොමුකළ බවයි.

පන්දුවට පහර දෙන අවස්ථාවේදී නිලකුණු පන්දු සංඛ්‍යාව අඩුකර ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ හෙට තරඟය සඳහා උපුල් තරංග ක්‍රීඩා කරනවා නම් කණ්ඩායමෙන් ඉවත්වෙන ක්‍රීඩකයා කවුරුන්ද යන්න පිළිබඳවයි.
 
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ තේරීම් කමිටුව ඒ පිලිබඳ තීරණයක් ගනු ඇති බවටයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට එක්දින තරඟ දෙකක තහනමක් පැනවූයේ ඉන්දියාව සමඟ පැවති දෙවන එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

එමෙන්ම, අද පැවැත්වෙන පස්වන අවසන් එක්දින තරඟය සඳහා ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහභාගී නොවන බව එරට මාධ්‍ය වාර්තා කළා.

සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු යළි ඉන්දියාව බලා ගොස් ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයට සහභාගිවීමේ අවස්ථාවද අහිමිව යනවා.

දෙරට අතර එක්දින තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ හතර තුළදී ශතකයක්ද සමඟින් ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 190 ක්.

තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ  4ට බිංදුවක් ලෙස ඉන්දියාව මේ වනවිට ජයගෙන  සිටිනවා.