අර්ජුන් ඇලෝසියස්ට මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු ලැබුණු බව හෙළිවේ

Tuesday, 05 September 2017 - 12:41

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට මහ බැංකුවෙන් අභ්‍යන්තර තොරතුරු ලැබී ඇති බව බැඳුම්කර කොමිසමේ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම කොමිසමට ඉතා සමීප ආරංචි මාර්ග සඳහන් කළේ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ අර්ජුන් ඇලෝසියස් අතර ඇතිවූ දුරකථන සංවාදවලට සවන්දීමෙන් පසු මෙම කරුණු ඊයේ රාත්‍රියේදී හෙළිකර ගැනීමට හැකිවූ බවයි.

එම දුරකථන සංවාදයේදී අර්ජුන් ඇලෝසියස් විසින් බැදුම්කර නිකුතුවට අදාළ ඉතා රහසිගත තොරතුරු සහ මිල ගණන් පිළිබඳ සංවේදී තොරතුරු කසුන් පලිසේන වෙත ලබාදෙමින් ලංසු තැබිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදී ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කළා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ එම කරුණු උපයෝගී කරගනිමින් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම 2016 වසරේ මාර්තු මස 31 වන දින ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී ඉතා වාසිදායක අයුරින් බැඳුම්කර මිලට ගෙන ඇති බවයි.

මෙම දුරකථන සංවාද පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් සිය පටිගත කිරීමේ පද්ධතියෙන් මකා දමා ඊට අදාළ පරිගණකය විනාශ කිරීමටද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරිවරයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී අදාළ පටිගත කිරීම් සොයාගැනීමට කොමිසමේ විමර්ශන නිලධාරීන්ට හැකිවුණා.

කොමිසමට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන අතර ඇතිවූ දුරකථන සංවාදවල සියලු තොරතුරු හෙට දිනයේදී කොමිසම හමුවේ හෙළි කිරීමට නියමිත බවයි.