දේශීය ආදායම් පනත් කෙටුම්පත් විවාදය හෙට

Wednesday, 06 September 2017 - 16:36

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙට පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනවා.

මෙම පනත් කෙටුම්පත පළමු වරට පසුගිය ජුලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු අතර දෙවන වර කියවීමේ විවාදයෙන් පසු කාරක සභා සාකච්ඡාව ද හෙට දිනයේම අවසන් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යංශය විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් ද පවරා තිබුනා.

අනතුරුව මුදල් අමාත්‍යවරයා විසින් පනත සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ ආදායම් බදු ගෙවන අනෙක් පාර්ශව සමග ද සාකච්ඡා පැවැත්වු බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව සහ වෘත්තීය සමිති මෙන්ම වෙනත් පාර්ශව සමග කළ සාකච්ඡා පදනම් කර ගනිමින් කෙරුනු සංශෝදන පිළිබඳ මුදල් අමාත්‍යවරයා විසින් හෙට පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති.

යෝජිත නව බදු පනත මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයත් කිසිදු නිලධාරියෙකුගේ රැකියාවේ සුරක්ෂිතතාවයට කිසිදු හානියක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යංශය අවධාරණය කළේ.

නව බදු පනත ක්‍රියාත්මක වීමෙන් පසු විදේශ රටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් සඳහා අමතර කිසිදු බදු පැනවීමක් සිදු නොවනු ඇති.

එමෙන්ම උපයන විට ගෙවීමේ බදු (PAYE ) සඳහා වන රුපියල් 750,000 ක් වු වාර්ෂික සීමාව රුපියල් 1,200,000 දක්වා වැඩි කෙරෙනවා.

ඒ අනුව දැනට උපයන විට බදු ගෙවන බොහෝ පිරිසකට බදු ගෙවීමට සිදු නොවන බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටියේ.

මෙම දේශීය ආදායම් නව පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු මෙරට සිටින විදේශ සමාගම් විසින් සිය රටට ලාභ යැවීමේදී අයකරනු ලබන ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද  යන බදු ඔක්තෝබර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර, සංස්ථාපිත බදු ඇතුළු අනෙකුත් ආදායම් බදු ගෙවීම 2018 අප්‍රේල් 01 නව බදු වසරේ සිට ක්‍රියාවට නංවනු ඇති.

වර්තමානයේදී අයකරනු ලබන 10‍% 12‍% 15‍% 20‍% සහ 40%  යනුවෙන් පවත්නා විවිධ බදු අනුපාතයන් සරල කර ඇති අතර, මින් ඉදිරියට ඊට 14‍% 28‍% සහ 40% යනුවෙන් බදු අනුපාත 3 ක් හඳුන්වා දෙනු ලැබේ.

පුද්ගල ආදායම් බදු ගෙවීමේදී ද දැනට පවතින රුපියල් 500,000 ක් වන  බදු ආදායම් කාණ්ඩ රුපියල් 600,000 දක්වා වැඩිකරනු ඇති.

ඕනෑම තනි ව්‍යාපාරිකයෙක් හෝ ආදායම් ලබන පුද්ගලයෙක් තම වාර්ෂික ඉපයීමෙන් ලැබෙන ශුද්ධ ලාභය වසරකට රුපියල් 500,000 දක්වා බදුවලින් නිදහස් කෙරෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.