කළු ගඟ දෙපස ජනතාවට අනතුරු ඇඟවීමක්

Thursday, 07 September 2017 - 12:24

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින අයහපත් කාලගුණයත් සමඟ පළාත් රැසකට මේ වනවිටත් තද වැසි ඇද හැලෙමින් පවතින අතර, කොළඹ ඇතුලූ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටව ඇති බව වාර්තාවනවා.

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය පුවක්පිටිය ප්‍රදේශයෙන් සහ පාදුක්ක ගලගෙදර මංසන්ධියෙන් ජලයෙන් ඇති අතර මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ.

වත්තල නගරය අවට බොහෝ ප්‍රදේශ සහ කොළොන්නාව - නාගහමුල්ල ප්‍රදේශයද ජලයෙන් යටවී ඇති ආකාරය අද පෙරවරුවේ දැකගන්නට ලැබුණා.

කැළණිය - වනවාසල ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යටවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීම නිසා අගලවත්ත, වළල්ලාවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බදුරලිය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබඳව සැළකිලිමත්වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

පවතින අධික වැසි තත්ත්වයත් සමග රත්නපුර, ඇහැලියගොඩ, අයගම ප්‍රදේශවල කඳු ආශ්‍රිතව පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළා.

මේ අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමේ පවතින බැවින් තවදුරටත් වැසි ලැබුණහොත් ඒ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එමෙන්ම රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර  දිස්ත්‍රික්කවලට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ තවදුරටත් බස්නාහිර පළාතට මිලිමීටර 100 ට වඩා තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම ගෙවීගිය පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගම්පහ - කිරිඳිවැල ප්‍රදේශයටයි. එය මිලිමීටර 192 ක්.  

පවතින අධික වැසි තත්ත්වය රත්නපුර ප්‍රදේශයට බලපෑ අයුරු සහ කළුගඟේ ජල මට්ටම ඉහළගිය හැටි මෙන්න