වැස්ස තවත් දින 5ක් පවතින ලකුණු - රත්නපුරය ජලයෙන් යටවෙයි - කලාප 5ක පාසල් වසා දැමේ

Thursday, 07 September 2017 - 19:24

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+5%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට සහ තවත් පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 12 වනදා දක්වා අඛන්ඩව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි දිනවලදී දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය වර්ධනය වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මේ වන විට වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කටයි.

කළු ගග පිටාර ගැලිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ අනුව අයගම, ඇලපාත, පල්දොළ, බටුගෙදර, කුරුවිට යන ප්‍රදේශවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන්ම ජලයෙන් යට ඇති අතර මූද්දුව , බලිබත්ගොඩ, මුවගම සහ ගැටංගම යන රත්නපුර නගරයට ආසන්න ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයගම ප්‍රදේශයේ ගං වතුර තත්ත්වය හේතුවෙන් පවුල් 220 අවතැන් කඳවුරු 03 රඳවා සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ද මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා.

ඇහැළියගොඩ - ඉඩම්ගොඩ මාර්ගය මීගස්වල ප්‍රදේශයෙන් හා ඇහැළියගොඩ -කුරුගම්මෝදර මාර්ගය පහළගම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම පැරණියාව - අයගම මාර්ගය සහ මඩලහන්දිය, කරඳන මාර්ගය මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අයගම සහ ඇලපාත යන අධ්‍යාපන කලාපවල පාසල් හෙට වසා දැමීමට ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

මේ අතර, කුකුළේ ගග ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘත ව පවතිනවා.

කළු ගඟ මිල්ලනිය ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය යන ප්‍රදේශවල ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

අත්තනගලූ ඔය පිටාර ගැලීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 ක් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ අනුව වත්තල, මහර, අත්තනගල්ල, බියගම, කැළණිය, ගම්පහ, දොම්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 956 කට අයත් පුද්ගලයින් 4200 ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අඛණ්ඩව වැසි පැවතුණහොත් කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර ගැලීම නිසා ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි කියා සිටියා.

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 කට අදාළව නිකුත් කර තිබූ නාය යාම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, රත්නපුර, කුරුවිට, ඇලපාත, පැල්මඩුල්ල යන ප්‍රදේශවලට එම තත්ත්වය බල පැවැත්වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහි ඕවිට සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රදේශවල ජනතාව පස් කඳු කඩා වැටීම් සහ නායයෑම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, පළාත් කිහිපයකට බලපෑ වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවන ආපදාවලට මුහුණදීම සඳහා යුද ටැංකි 15 ක් සහ නාවික හමුදා යාත්‍රා 13 ක් ලබාදී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.

ඒ, සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී ඉදිරිපස ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙසත්, උපරිම වේගය පැයට කිලෝමීටර් 60කට සීමා කරන ලෙසත්, එහි නඩත්තු ඒකකය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.