නිරිතදිගට තවදුරටත් වැසි - රත්නපුරයේ ගං වතුර අවදානම පහව යයි

Friday, 08 September 2017 - 7:42

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තවදුරටත් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 දක්වා වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූයේ රත්නපුර දිස්ත්‍රික්කටයි.

කළු ගග පිටාර ගැලිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වුණා.

ඒ අනුව අයගම, ඇලපාත, පල්දොළ, බටුගෙදර, කුරුවිට යන ප්‍රදේශවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර, මූද්දූව, බලිබත්ගොඩ, මුවගම සහ ගැටංගම යන රත්නපුර නගරයට ආසන්න ප්‍රදේශ ජලයෙන් යට වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයගම ප්‍රදේශයේ ගං වතුර තත්ත්වය හේතුවෙන් පවුල් 220 අවතැන් කඳවුරු 03 රඳවා සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෙසේ වෙතත් එම ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර  රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ද ජලයෙන් යට ව තිබුණා. එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අයගම සහ ඇලපාත යන අධ්‍යාපන කලාපවල පාසල් අද වසා දැමීමට ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

මේ අතර, කුකුළේ ගග ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘත ව පවතිනවා.

කළු ගඟ මිල්ලනිය ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය යන ප්‍රදේශවල ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

අත්තනගලූ ඔය පිටාර ගැලීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 ක් ජලයෙන් යටවුණා.  

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 කට අදාළව නිකුත් කර තිබූ නාය යාම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට එම අවදානම බලපවත්වනු ඇති.

කෙසේ වෙතත් පළාත් කිහිපයකට බලපෑ වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවන ආපදාවලට මුහුණදීම සඳහා යුද ටැංකි 15 ක් සහ නාවික හමුදා යාත්‍රා 13 ක් ලබාදී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.