ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට

Friday, 08 September 2017 - 13:47

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කර, ඊයේ සිර දඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වෛද්‍ය උපදෙස් මත ඔවුන් දෙදෙනා මෙලෙස රෝහල් ගතකළ බවයි.

හිටපු ජනාධිපතිලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණය ඊයේ  (07) බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් නියම කළා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වියදම් කර සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

සිල් රෙදි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව කොළඹ මහාධිකරණයේදී ඊයේ (07) කැඳවනු ලැබුවේ පෙරවරු 10 ට පමණ.

එම අවස්ථාව වනවිට විත්තිකරුවන්ගේ ඥාතීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මහාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා එම කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ නීතිපතිවරයායි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පවත්වා මහාධිකරණය හමුවේ ගොනුකළ පළමු නඩුව වන්නේද මෙයයි.

2014 වසරේ ඔක්තෝම්බර් 30 වන දින සහ 2015 ජනවාරි 15 වන දින අතර කාලයේදී අදාළ මුදල විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදීම සඳහා ජනාධිපති ලේකම්වරයා නමින් ඇති ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට එහිදී නීතිපතිවරයා චෝදනා නගා තිබුණා.

විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, හිටපු ජනාධිපතිවරයාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු සාක්ෂිකරුවන් විස්සකට වැඩි පිරිසකගේ සාක්ෂි මෙහිදී මෙහෙයවනු ලැබුවා.

නඩුවේ තීන්දුව ඊයේ (07) ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පැවසුවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබූ අවස්ථාවක විත්තිකරුවන්ගේ ක්‍රියා කලාපය මගින් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයාට අයුතු දේශපාලන වාසියක් ලබාදීම සඳහා විත්තිකරුවන් කටයුතු කර ඇති බවයි.

එවකට පැවති දේශපාලන සංස්කෘතියට අනුව රජයේ නිලධාරීන්ට ඔවුනට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට ඉඩ නොතබා දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට ඔවුන් පොළඹවා ගෙන ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය නඩු තීන්දුවෙන් පෙන්වා දෙනු ලැබුවා.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කළ අධිකරණය ඔවුන්ට වසර 03 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර, එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩයක්ද නියම කළා.

රුපියල් මිලියන 50 බැගින් කොමිෂන් සභාවට වන්දි ගෙවන ලෙස අධිකරණය විත්තිකරුවන්ට නියෝග කළ අතර, එසේ නොගෙවන්නේ නම් ඔවුන් තවත් වසර දෙකක සිරදඬුවමකටද යටත් වන බව සඳහන් කළා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ වන්දි මුදල ගෙවීම සඳහා මේ මස 20 වනදා දක්වා කල් ලබාදෙන ලෙසයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම අද ඔවුන් දෙදෙනාගේ සුව දුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ මේ අපේ රටේ ඉතිහාසයේ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු නිර්මාණය වන අවස්ථාවක් බවයි.

ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ට සිල් රෙදි බෙදීම නිසා මෙවැනි සිර දඩුවමකට ලක් කර ඇති බව ද ඔහු කියා සිටියා.

මිලියන එකසිය ගණනක දඩයක් ගෙවන්න තියෙන අවස්ථාවක ඔවුන්ට රටට ආදරය කරන සියලූ ජනතාවගෙන් මුදල් එකතු කර ඔවුන් දෙදෙනා නිදහස් කර ගැනීමේ අරගලය සිදුකරන බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ලලිත් වීරතුංග රාජ්‍ය සේවය තුළ කිසිදු මුදල් වංචාවක් සිදුකර නොමැති රාජ්‍ය නිලධාරියෙකු බවයි.

අද පෙරවරුවේ දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් විමසූ අතර ඊට පිළිතුරු ලබාදීමේදී ද ඔහු මෙම නඩු තීන්දුව පිළිබදව සිහිපත් කළා.

ඔහු කියා සිටියේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

මේ අතර, අමාත්‍ය ජෝන් අමරතුංග ද කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

ඔහු කියා සිටියේ තමාගේ දැනුම අනුව ලලිත් වීරතුංග මහත්මා ගති පැවතුම් ඇති රාජ්‍ය නිලධාරියෙකු බවයි.

එමෙන්ම බදුල්ලේ අද පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ මෙම තීන්දුව ඇසූ අවස්ථාවේ තමාගේ පපුවට තියුණු ආයුධයකින් පහර දුන් බවක් දැනී ගිය බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිර දඬුවම් නියම වීම පිළිබද පළ කළේ දේශපාලන හිතවතුන්ට සහ දේශපාලන ප්‍රතිවාදීන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ ආකාර දෙකකින් බවයි.

ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කිසිදු වංචාවක් සිදුනොකර රාජකාරියේ නිරතව සිටි අහිංසක නිලධාරීන් දෙදෙනෙකු වරදකරුවන් බවට පත්ව ඇති බවයි.

එසේම ලබන 25 වන දාට සිල් රෙදි සහ උපාසක උපාසිකාවන් සමඟ බුද්ධ ශාසන අමාත්‍යාංශයට යාමට ද කටයුතු කරන බව එම නිවේදනයේ සදහන්.

එමෙන්ම ඔවුන් දෙදෙනා වෙනුවෙන් ගෙවිය යුතු දඩ මුදල් එකතු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරන බව ශ්‍රී ලංකා ජාතික මහා සංඝ සභාව සඳහන් කළා.

මේ අතර, 2010 වසරේ සිට 2014 දක්වා වසර 5 ක කාලය තුළ වත්කම් බැරකම් හෙළි නොකළ බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව පවරා තිබූ නඩු පහේ තීන්දුව ලබන නොවැම්බර් 10 වනදා ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.