පළාත් කිහිපයකට තවදුරටත් වැසි

Friday, 08 September 2017 - 13:53

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට සහ තවත් පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අද දක්නට ලැබුනද හෙට දිනයේදී වැසි තත්ත්වයේ වැඩි විමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වුයේ රත්නපුර දිස්ත්‍රික්කටයි.

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වු අතර එය මේවන විට පහව යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ජල ගැලිම් තත්ත්වයත් සමඟ අයගම, ඇලපාත, පල්දොළ, බටුගෙදර, ඇහැළියගොඩ, කුරුවිට යන ප්‍රදේශවල ඇතැම් ස්ථාන තවමත් ජලයෙන් යට වී පවතිනවා.

රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පවුල් 1077 අයත් පුද්ගලයින් 4057 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ද තවමත් ජලයෙන් යට වී තිබෙනවා.

ඇහැළියගොඩ - ඉඩම්ගොඩ මාර්ගය මීගස්වල ප්‍රදේශයෙන් හා ඇහැළියගොඩ -කුරුගම්මෝදර මාර්ගය පහළගම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත් අතර  පැරණියාව - අයගම මාර්ගයද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අයගම සහ ඇලපාත යන අධ්‍යාපන කලාපවල පාසල් අද වසා තිබුණේ ජල ගැල්ම හේතුවෙන්.

මේ අතර, කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘත ව පවතිනවා.

කළු ගඟ මිල්ලනිය ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය යන ප්‍රදේශවල ගඟ දෙපස පහත්බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක් තවමත් ජලයෙන් යට වී පවතිනවා.

අනුව වත්තල, මහර, අත්තනගල්ල, බියගම, දොම්පේ, කැළණිය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1702 කට අයත් පුද්ගලයින් 7126  දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

වැසි තත්ත්වයේ අඩු විමත් සමඟ කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර ගැලීම නිසා ඇති වු සුළු ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි කියා සිටියා.අනෙකුත් ගංඟාවල ජල මට්ටම් වල වැඩි විමක් දක්නට නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05 කට අදාළව නිකුත් කර තිබූ නාය යාම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි.  

පැවැති අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 5 ක් සඳහා මුදවාගැනීමේ භට පිරිස් ස්ථාන ගතකිරීමට යුද හමුදාව පියවර ගත්තා.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම භට පිරිස් යොදවා ඇති බවයි හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින ගං වතුර තත්ත්වයට මුහුණදීම සඳහා ජලයේ ගමන් කළ හැකි යුද ටැංකි 3 ක්ද මේ වනවිට යොදවා තිබෙනවා.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමග යළි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින නිසා ඩෙංගු මර්දන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය දිනවල සතියකට ඩෙංගු රෝගීන් දස දහසක් වාර්තා වුවද මේ වනවිට එය 1500 දක්වා අවම වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ මස 20 වනදා සිට 26 වනදා කාලය තුළ ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තාවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්.

එය මිලිමීටර 121.8 ක්.

අද දිනයේ වර්ෂාවේ අඩුවීමක් දක්නට ලැබුණද හෙට දිනයේ සිට දිවයිනේ නිරිතදිග කොටසට මිලිමීටර 100 ත් 150 ත් අතර, වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යමසහවයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහරප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි (මි.මි.100-150ක පමණ) ඇති විය හැක.

යාපනය සහ මන්නාරම ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මි.75-100ක පමණ) ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

සමහරප්‍රදේශවල, විශේෂයෙන් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මි.75-100ක පමණ) ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර එළඹෙන ඉරිදා රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 71 වන සම්මේලනය කල් දමා තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

ඊට අදාළ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.