කළු ගඟේ තවමත් සුළු ගං වතුර තත්ත්වයක් - අයහපත් කාලගුණයෙන් 17,000කට පීඩා

Saturday, 09 September 2017 - 12:39

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+17%2C000%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට සහ තවත් පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි පුද්ගලයින් 17,000 ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටයි.

කළු ගග පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වූ සුළු ගංවතුර තත්ත්වය තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අධික වර්ෂාවත් සමග අයගම, කිරිඇල්ල, ඇහැළියගොඩ යන ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී පවතිනවා.

 රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පවුල 1911 අයත් පුද්ගලයින් 7590 දෙනෙකු පිඩාවට පත්ව ඇති අතර අවතැන් කඳවුරු 18 පවුල් 196 කට අයත් පුද්ගලයින් 721 දෙනෙක් රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ද තවමත් ජලයෙන් යට වී තිබෙනවා.

ඇහැළියගොඩ - ඉඩම්ගොඩ මාර්ගය මීගස්වල ප්‍රදේශයෙන් හා පැරණියාව - අයගම මාර්ගයේ කොටසක්  මෙලෙස තවමත් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කුකුළේ ගග ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘත ව පවතිනවා. කළු ගඟ මිල්ලනිය ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා කළුතර දිස්ත්‍රික්කයේ මාදුරුවල සහ තෙබුවන පහත්බිම් තවමත් ජලයෙන් යට වී පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

එමෙන්ම ඇති වූ ආපදා තත්ත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ද පුද්ගලයන් රැසක් පීඩාවට පත්වුණා.

අත්තනගලූ ඔය පිටාර ගැලීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ක් තවමත් ජලයෙන් යට වී පවතිනවා.

ඒ අනුව වත්තල, මහර, අත්තනගල්ල, බියගම, කැළණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 255කට අයත් පුද්ගලයින් 9448ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පිරිස් තවදුරටත් කඳවුරු 9ක පවුල් 577කට අයත් පුද්ගලයින් 2462ක් රදවා සිටිනවා.   

වැසි තත්ත්වයේ අඩු වීමත් සමග කළු ගෙඟ් තවමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි කියා සිටියේ.

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 05 කට අදාළව නිකුත් කර තිබූ නාය යාම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මකයි.

පැවැති අධික වර්ෂාවත් සමග ආපදාවට ලක්වූ ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා භට පිරිස් සහ බෝට්ටු යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, දිවයිනට නැගෙනහිරින් වන බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක් සහ 150 ක පමණ තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.