අර්ජුන් ඇලෝසියය් නැවත එළඹෙන 13 කොමිසමට කැඳවයි

Monday, 11 September 2017 - 14:52

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+13+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ට ලබන බදාදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම අද සිතාසි නිකුත් කළා.

මෙම නියෝගය ලබාදීම වැළැක්වීමට ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම ප්‍රබල උත්සාහයක් ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අද දිනයේ ශරීර පරීක්ෂාවකින් පසු කොමිසමට ඇතුළුවූයේ අඛණ්ඩව පස්වන දිනටත් කොමිසමේ විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට ප්‍රකාශයක් ලබාදීමටයි.

ඒ අතරතුර ආරම්භ වූ කොමිසම අර්ජුන් ඇලෝසියස්ට නියෝග කළේ ප්‍රකාශය ලබාදී කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව නොයන ලෙසයි.

ඉන්පසු ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, 10 දෙනෙකුගෙන් පමණ සමන්විත නිීතිඥ කණ්ඩායමක් අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින බව දැනුම් දුන්නා.

එහිදි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන කියා සිටියේ සාක්ෂිකරුවකුට ඇති මුක්තියට අනුව අර්ජුන් ඇලෝසියස් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට අකමැති බවයි.

ඊට හේතු ලෙස නඩු තීන්දු කිහිපයක් උපුටා දැක්වූ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන ප්‍රකාශ කළේ අනාගතයේදී අර්ජුන් ඇලෝසියස් චුදිතයෙකු බවට පත්වීමට හැකි නිසා එවන් අයෙකු සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීම නීතියට පටහැනි බවයි.

ඊට ප්‍රති තර්ක ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා කියා සිටියේ මෙම කොමිසම විශේෂ ජනාධිපති කොමිසමක් නොවන නිසා කිසිදු පුද්ගලයෙකු වාර්තාව සකස් කරන අවස්ථාව දක්වා චූදිතයෙකු නොවන බවයි.

ජාතික වැදගත්කම සලකා ජනාධිපතිවරයා පත් කළ මෙම කොමිසම මගින් බැඳුම්කර කොල්ලයට වගකිව යුත්තන් කවුරුන්දැයි හෙලිකරන තුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින බව ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළා.

මහබැංකුවෙන්, රාජ්‍ය බැංකුවලින් සහ වෙනත් පාර්ශවලින් අභ්‍යන්තර රහසිගත තොරතුරු ලබාදුන්නේ කවුදැයි දන්නේ අර්ජුන් ඇලෝසියස් පමණක් බැවින් බැඳුම්කර කොල්ලය පිටුපස සිටින අනෙකුත් ප්‍රබල චරිත කවුදැයි ඔහු රටට හෙලිකල යුතු බවයි ජනාධිපති නිතිඥවරයා කියා සිටියේ.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් කොමිසම ඉදිරියට කැඳවන තුරු රටම බලා සිටින බව පැවසූ ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළේ තවත් ප්‍රබල චරිත ඉදිරියේදී කොමිසම හමුවට කැදවන බවයි.

අර්ජුන් ඇලෝසියස් සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට නොහැකිනම් ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරය ඉෂ්ට කිරීමට කොමිසම අපොහොසත් වන බව ඔහු කියා සිටියා.

අනතුරුව යලිත් අර්ජුන් ඇලෝසියස්ගේ නිතිඥ කණ්ඩායම සිය සේවාදායකයා සාක්ෂි කූඩුවට නැංවීම නැවැත්වීමට විශාල පරිශ්‍රමයක් දරනු ලැබුවා.

එහෙත් කොමිසම සඳහන් කළේ ලබන බදාදා සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටින ලෙස සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ට අද පෙරවරුවේ අධිකරණ පිස්කල් නිලධාරීවරයෙකු මාර්ගයෙන් සිතාසි ලබාදුන් බවයි.

එදිනට දෙපාර්ශවයේ කරුණු සලකා බලා අර්ජුන් ඇලෝසියස් සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට ඇති නෛතික තත්ත්වය පිළිබද තීන්දුව ලබාදෙන බව කොමිසම ප්‍රකාශ කළා.

අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥයින් ඊට අකමැත්ත පළ කළ අතර, ඔවුන් ඉල්ලා සිටියේ ඉහළ අධිකරණයක සහය පැතීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

එහෙත් එම ඉල්ලීම පසෙක දැමූ කොමිසම අර්ජුන් ඇලෝසියස් ලබන බදාදා අනිවාර්යෙන් කොමිසම වෙත පැමිණිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ඔහුට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් සඳහන් කළා.