ලිප්ටන් වටරවුම අවහිර කළ සයිටම් විරෝධය අවසන්

Friday, 15 September 2017 - 18:53

%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් සයිටම් විරෝධී ජන පවුර දින 5ක් පුරා ක්‍රියාත්මක කළ විරෝධතා රථ පෙළපාලිය අද කොළඹට ළඟා වුණා.

පෙළපාලිය සහ  ලිප්ටන් වටරවුමේ පැවැති ජන රැළිය හේතුවෙන් පුරහල අවට මාර්ගවල හට ගත්තේ දැඩි රථවාහන තදබදයක්.

මේ අතර, සයිටම් විරෝධීන් බොරැල්ල කැම්බල් පිටියට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය කළ ඉල්ලීමක්ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද ප්‍රතික්ෂේප කළා.

දිස්ත්‍රික්ක පහක සිට ගමන් ආරම්භ කළ රථ පෙළපාලිය ගාලූ පාර, නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ හොරණ පාර ඔස්සේ ලිප්ටන් වටරවුමට පැමිණියා.

මේ අතර, ගාලූ පාරේ - මොරටුව - දිගරෝල්ල පාලම මතදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සහ කළුතර ප්‍රදේශයේ සිට ගමන් ආරම්භ කළ සයිටම් විරෝධී රථ පෙලපාලියේ පිරිස් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ඊට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික කේ.ඞී.ලාල්කාන්ත ඇතුළු පිරිස අතර සංවාදයක් ඇතිවුණා.

මේ අතර, රථ පෙළපාලිය කොළඹට පැමිණෙන අතරතුර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමින් මාළඹේ වෛද්‍ය විද්‍යාල ගැටළුව ගැන මෙලෙස අදහස් පළ කළා.

‘‘ අද වෙනකොට සයිටම් ආයතනයේ නිරුවත ජාතික තලයේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරවත් ඔප්පු වෙලා ඉවරයි. ලංකාවේ වෛද්‍ය පීඨයක් පළවෙනි වතාවට බ්‍රිතාන්‍යයේ වෛද්‍ය කවුන්සිලයේ අසාදු ලේඛණයට ඇතුළත් කිරීමේ ගෞරවය සයිටම් ආයතනය දිනාගෙන තියෙනවා. ඒ වගේ තැනකින් වෛද්‍යවරුන් බිහිවුනොත් රෝගීන්ට දෙයියන්ගේ පිහිටයි කියන එක තමයි එංගලන්ත වෛද්‍ය සභාව මේ කියන්නේ. ඒ හින්දා මේ පණිවුඩය තේරුම් ගන්න බැරි අඳබාල බලධාරීන් පිරිසක් නම් ඉන්නේ ඒකට උත්තර දෙන්න ඇත්තටම වෛද්‍යවරු විදියට එලියට එන්න  ඕන අපි නෙවෙයි, මේ රටේ ජනතාව. බොහොම අකමැත්තෙන් වුනත් මේ රටම කළඹවන දැවැන්ත ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් සඳහා එළැඹෙන 21 වැනි බ්‍රහස්පතින්දා අවතීර්ණ වීම සඳහා මේ සියලූ දෙනා මේ වෙනකොට සම්පූර්ණ එකඟතාව පළ කරලා ඒ සම්බන්ධයෙන් සියලූම කටයුතු මේ වෙනකොට සම්පාදනය වෙලා තියෙන්නේ.’’

එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ද එහිදී අදහස් දක්වා සිටියා.

‘‘අගමැතිතුමා කරපු ඉල්ලීමක් සහ බලපෑමක් නිසා අද වෙනතුරු රාජිත සේනාරත්නට බැරි වෙලා තියෙනවා වෛද්‍ය සභාවට සභාපති කෙනෙක් පත්කරන්න. අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා මේකේදී මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හිතවත් කත් අදින කෙනෙක්ව පත් කරන්න එපා. ඒක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක සාකච්ඡා කරලා කරන්න කියලා. රාජිත සේනාරත්න සාකච්ඡා කළාද ? නෑ....ඒ අතර එයාට කියලා එව්වලූ රට භාර ගන්න කියලා.....(හිනා) රට නෙවෙයි, මෙන්න මේ වැඬේ කරලා ඉවර කරන්න. ඒක නිසා අපි කියන්නේ එංගලන්තේ කුහකද ? ඒවා ගැන ගිහිල්ලා හොයා ගන්න. ඒ නිසා අපි අහනවා අර පිරිමි මිසීගෙන්, දැන් එංගලන්තෙත් කුහකද ? ගාමිණී වියන්ගොඩලාගෙන් අපි අහනවා.....එංගලන්තේ කුහක වෙලාද ? බලපෑම් කළාද ජී.එම්. ඕ.ඒ. එක එංගලන්තේ ගිහිල්ලා. සරත් විජේසූරිය කෝ....පේන්න නෑ මේ ටිකේ......අපි අහන්නේ දැන් මේ ජී.එම්.සී. එක දීපු තීරණය ගැන ඇවිල්ලා පිරිමි හෙදිය ප්‍රකාශයක් කරන්න....එහෙම නැතුව හැංගි හැංගි ඉන්න බෑ.’’

විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුමට පැමිණීමෙන් අනතුරුවයි එහි ජනරැලිය ආරම්භ වුණේ. ඊට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියා. මේ, එහිදී අදහස් දැක්වු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර.

‘‘අදත් මේ රටේ ජනතාවට ආමන්ත්‍රණය කරන්නට පෙර ආමන්ත්‍රණය කළ යුතු කතාවක් කිව යුතු පිරිසක් ඉන්නවා. දැන් අන්න, අර යුනිෆෝම් ගහගෙන ඉන්න අයියලා ටික වාහනවල නම්බර්ස් ලියා ගන්නවා. (හූ.......) අද ලේසි වෙයි. අපි දන්නවා ඊයේ ඉඳන් විශේෂ කාර්ය බලකායේ මහත්තුරු කොටුවේ. අද මොකද වෙලා තියෙන්නේ උසාවියට කැඳවලා කොහේ තියෙන උද්ඝෝෂණයකටද....කැම්බල් එකේ උද්ඝෝෂණයක් තියෙනවා කියලා උසාවි නියෝග ඇවිල්ලා. ජුනි 21 වැනිදත් ඔය විදියටම වැරදුනා.....ඔය විදියටම වැරදුනා නේද...පොඞ්ඩක් අර බුද්ධි අංශයේ මහත්තුරු ටික මාරු කරලා බලන්න. එකක් මතක තියා ගනිල්ලා අපි යනවා නම් යන්නේ අපිට  ඕන තැනට අපිට  ඕන විරෝධය අරගෙන, අපේ සටන් පාඨ අරගෙන, අපේ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් තමයි අපි අරගල කරන්නේ. උඹලා පෙන්වන පාරවල්වල, උඹලා පෙන්වන නීතියට අනුව යන්න අපි ලෑස්ති නෑ.’’

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිද ජනරැලිය ආමන්ත්‍රණය කළේ මෙලෙසින්.

‘‘සයිටම් එක ජාත්‍යන්තරව එංගලන්තේ බ්ලැක් ලිස්ට් කරනකොට මේ රටේ ජනතාව සහමුලින්ම බ්ලැක් ලිස්ට් කරලා ඉවරයි. දැන් අපි කියන්නේ හෙට වෙනකොටත් ආණ්ඩුව ලෑස්ති නැත්නම් තමන්ගේ ආත්ම ගෞරවය බේරගෙන මේ සටනේ ජයග්‍රහණය ජනතාවගේ පැත්තට දීලා ආණ්ඩුව පරාජය පිළිඅරගෙන සයිටම් එක වහන්න. අපි කියනවා අපිත් ලෑස්තියි සයිටම් විරෝධී ජන අරගලයට අපේ සම්පූර්ණ කැපවීම මැදිහත්වීම දායකත්වය දීලා ආණ්ඩුව ගෙදර යවලා හරි මේ අරගලය ජයග්‍රහණයකින් කෙලවර කරන්න.’’

මේ අතර, මෙම විරෝධතා රථ පෙළපාලියට සහ ජන රැලියට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික් මට්ටමින් දියත් කළ වර්ජනය අද ක්‍රියාත්මක වුණේ කොළඹ, පුත්තලම, කෑගල්ල, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්. අද පැවති වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බොහොමයක් අපහසුතාවට පත්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.