සිසුන් බදවා ගැනීම අත්හිටුවීම සයිටම් අර්බුදයට විසඳුමක් නොවේ - වෛද්‍ය සංගමය

Saturday, 16 September 2017 - 12:55

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA
සයිටම් ආයතනයට වෛද්‍ය උපාධි සඳහා සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීරණයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය පළ කරනවා.

ඔවුන් පවසන්නේ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුව පත් කළ කමිටුව තාවකාලික විසදුම් ලබාදෙමින් සිටින බවයි.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි සඳහා සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඒ සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුවයි.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව දින 10ක කාලයකින් අනතුරුව එහි නිර්දේශය පසුගිය 11 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට භාර දුන්නා.

එම වාර්තාව මගින් කමිටුව නිර්දේශ කර ඇත්තේ 2017 දෙසැම්බර් 31 හෝ වෛද්‍ය ආඥා පනතේ අවම සම්මත නීති ගැසට් කරන තුරු හෝ ඉන් මුලින් සිදුවන ක්‍රියාව සිදුවන තුරු නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවන ලෙසයි.

මීට පෙර ද සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි වැඩසටහන පිළිබද කාලීන සමාලෝචනයක් සිදුකරන තෙක් එම ආයතනයට වෛද්‍ය සිසුන් බදවා ගැනීම මාස 6කට අත්හිටුවන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය පෙබරවාරි 14  වන දා යෝජනා කර සිටියා.

එමෙන්ම පසුගිය මැයි 15 වන දින යළිත් ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ හේතු කිහිපයක් මුල් කර ගනිමින් සයිටම් ආයතනයට නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවන ලෙසයි.

මෙම තීරණය පිළිබද අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ සයිටම් අර්බුදය විසදීමට විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් ලබාදුන් යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවයි.

අදාළ තීරණයට විරෝධය පළ කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ රජය දෙන මෙම තාවකාලික තීන්දුවලට සයිටම් විරෝධී අරගල නැවැත්විය නොහැකි බවයි.

මේ අතර, මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් බ්‍රිතාන්‍යය වෛද්‍ය මණ්ඩලය මගින් පිළිගනු නොලබන්නේ ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචිය නොලැබීම නිසා බව බ්‍රිතාන්‍යය වෛද්‍ය සභාව ප්‍රකාශ කළා.

එක්සත් රාජධානියේ ජෙනරල් මෙඩිකල් කවුන්සිල් හෙවත් ජී.එම්.සී. ආයතනය මගින් පසුගිය දා ප්‍රකාශ කළේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සුදුසුකම් නොලබන බවයි.

ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය බ්‍රිතාන්‍ය වෛද්‍ය මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් එම වෛද්‍ය මණ්ඩලයේ නටාලියා කෑන්ස් ඊමේල් පණිවුඩයක් යොමු කර තිබෙනවා.

එහිදී ඇය සදහන් කර ඇත්තේ සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය මගින් පිළිනොගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය මණ්ඩලයට ද ඔවුන් පිළිගත නොහැකි බවයි.