ඉල්ලීම නොතකා විදුලි වෘත්තිය සමිති තවදුරටත් වර්ජනයේ

Sunday, 17 September 2017 - 7:33

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරියට වැටුප් ගෙවීමේදී මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුලිබල වෘත්තීය සමිති ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මක වනවා.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුනේ පසුගිය 13 වනදායි.

එය දින දෙකකට සීමා වන බව ප්‍රකාශ කළ ද විෂය භාර අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා එය මේ වනවිට පරිවර්තනය කර අවසන්.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේදීද ප්‍රදේශ කිහිපයක විදුලිය බිද වැටීම් වාර්තා වුණා.

එමෙන්ම, මතුගම - පයාගල - යටදොල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට දින 3 ක සිට විදුලිය නොමැතිවීමෙන් ගම්වාසීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබුණා.   

එහෙත් කිසිදු බාධාවකින් තොරව විදුලි සැපයුම පවත්වාගෙන යාම සදහා විශ්‍රාම ගිය සේවකයින්ට නැවත සේවයට වාර්තා කරන ලෙසට දන්වා ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.

එමෙන්ම මේ වනවිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමෙන් විදුලි වර්ජනය අසාර්ථක බව පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර, විදුලිබල මණ්ඩලය තුළ ඇති අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් විදුලි පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුනොකරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා.

ඒ, රුවන්වැල්ලේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සහ අඛන්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් ලංකා විදුලි සේවක සංගමයේ රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පස්වන දිනටත් අද මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

බලධාරීන්ගෙන් ගැටළුවට විසඳුම් ලැබෙනතුරු එය සිදුකරන බවත්, අමාත්‍යාංශ මට්ටමින් අභූත චෝදනා කරමින් එය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවටද ඔහු චෝදනා කළා.

විදුලිබල මණ්ඩලයේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට පැමිණෙන ලෙස අමාත්‍යවරයාට අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.