ට්‍රාන්ස්ෆෝමර් සහ විදුලි රැහැන්වලට පොලිස් ආරක්ෂාව

Sunday, 17 September 2017 - 13:21

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%86%E0%B7%9D%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
විදුලි සේවක වර්ජනය හමුවේ ට්‍රාන්ස්ෆෝමර් සහ විදුලි රැහැන්වල ආරක්ෂාව සඳහා පොලීසියේ සහය ලබාගැනීමට  පියවර ගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ප්‍රදේශ ගණනාවකින් වාර්තාවූ සිද්ධීන් සැළකිල්ලට ගෙන කඩාකප්පල්කාරී ක්‍රියාවන් වැළැක්වීමේ පියවරක් වශයෙන් මෙලෙස පොලිස් ආරක්ෂාව ලබාගැනීමට තීරණය කළ බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරියට වැටුප් ගෙවීමේදී බරපතල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවන බව පවසමින් විදුලිබල වෘත්තිය සමිති අද පස්වන දිනටත් වර්ජනයේ නිරතවනවා.

විදුලිබල අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ වෘත්තිය සමිති නම්‍යශීලී ස්ථාවරයක සිට සාකච්ඡාවකට පැමිණෙන්නේ නම් ඊට අවස්ථාව ලබාදීමට සූදානම් බවයි.  

කෙසේ වෙතත් ලංකා විදුලි සේවක සංගමය කියා සිටියේ් අර්බුදය විසඳීමට විදුලිබල අමාත්‍යාංශයට සැබෑ අවශ්‍යතාවක් නොමැති බවයි.

නිසි විසඳුම් ලැබෙනතුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර විදුලි පාරිභෝගිකයන් සමග අමාත්‍යාංශය වැටලීමට සූදානම් බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් ලේකම් රන්ජන් ජයලාල්  ප්‍රකාශ කළා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් දිගින් දිගටම කඩාකප්පල්කාරී ක්‍රියා වාර්තාවන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නීතිවිරෝධී ලෙස විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ විදුලි සේවකයෙකු කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද අමාත්‍යාංශය පවසනවා.

එම තත්වය හමුවේ පොලිස් ආරක්ෂාව ලබාගැනීමට තීරණය කළ බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත් කොන්ත්‍රාත්කරුවන්  යොදවා කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකර එම වරද වෘත්තිය සමිති මත පැටවීමට බලධාරීන් උත්සාහ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් ලේකම් රන්ජන් ජයලාල්  සඳහන් කළා.

මේ අතර වර්ජනයේ නිරත විදුලි වෘත්තිය සමිති නියෝජිතයන් පිරිසක් අද කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න හමුවී සාකච්ඡාවක නිරතවූ බවද වාර්තාවනවා.