හෙට තද සුළං හමන හා වැසි වසින ප්‍රදේශ මෙන්න

Monday, 18 September 2017 - 17:27

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%84%E0%B6%B8%E0%B6%B1+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
හෙට(19) දිනයේ දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන තරමක් තද සුළං සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි දෙපාර්තමේන්තුව අද සවස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අද(18) පස්වරු 4ට ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියක් ඉදිරිපත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය වැඩි වීම සමඟ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත්  දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ විටින් විට තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන බවත් එහි සඳහන්.

මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි එහි දැක්වෙන්නේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටක පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනවා.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව නිවේදනයේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි  ධිවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.