ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට උසාවි එයි

Wednesday, 20 September 2017 - 10:08

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට, බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ, අදාළ ඇප ඉල්ලීම පිළිබඳ සලකා බැලෙන පෙත්සම සම්බන්ධයෙන්.

මහාධිකරණය විසින් දඩුවම් නියම කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මේ මස 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට නොතීසි නිකුත් කෙරුනා.

ඒ, විත්තිකරුවන් ඇප ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ මීට පෙර සළකා බැලූ අවස්ථාවේදීයි.

විත්තිකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් අද (20) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා දැනුම් දී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ රුපියල් මිලියන 600ක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර නඩුවේ තීන්දුව පසුගිය 07 වනදා ප්‍රකාශයට පත් කෙරුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විත්තිකරුවන්ට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අතර රුපියල් ලක්ෂ 20 බැගින් දඩයක් සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබුණා.

මෙම තීන්දුව අවලංගු කර ඔවුන් සියලු අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ විත්තිකරුවන්ගේ නීතිඥයන් පෙත්සම් 02 ක් ගොනු කර තිබුණේ පසුගිය 11 වනදායි.

එම අභියාචනා සමඟ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීමේ අයදුම්පත්‍රද කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය වෙත ඔවුන්ගේ නීතිඥයන් භාරදී තිබූ අතර, ඒ අනුවයි මෙම නඩුවේ තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේම එම ඇප අයදුම්පත් සළකා බැලුණේ.