ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට ඇප

Wednesday, 20 September 2017 - 12:06

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%96%E0%B7%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කොළඹ මහාධිකරණය විසින් ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට කොන්දේසි සහිතව අද ඇප ලබාදුන්නා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට ට කොළඹ මහාධිකරණය අද (20) ඇප ලබා දුන්නා.

රු ලක්ෂය බැගින් මුදල් ඇප නියම කළ අතර ලක්ෂ 10 බැගින් ශරීර ඇප 3ක් නියම කෙරුනා.

එයින් කෙනෙක් ළඟම ඥාතියෙකු විය යුතු අතර තවත් කෙනෙක් රජයේ සේවකයෙක් විය යුතුයි.

විදේශ ගමන් තහනම් අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.

මහාධිකරණය සිර දඬුවම් නියම කිරීමෙන් පසු ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට අභියාචනාධිකරණයේ අභියාචනයක් ඉදිරිපත් කළා.

අනතුරුව  ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද(20) අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට නොතීසි නිකුත් කෙරුනා.

ඒ විත්තිකරුවන් ඇප ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ මිට පෙර සළකා බැලූ අවස්ථාවේදීයි.

විත්තිකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇත්නම් අද(20),  ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා දැනුම් දී තිබුනා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ රුපියල් මිලියන 600ක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර නඩුවේ තීන්දුව පසුගිය 07 වනදා ප්‍රකාශයට පත් කෙරුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විත්තිකරුවන්ට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අතර රුපියල් ලක්ෂ 20 බැගින් දඩයක් සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබුණා.

මෙම තීන්දුව අවලංගු කර ඔවුන් සියලූ අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ විත්තිකරුවන්ගේ නීතිඥයන් පෙත්සම් 2 ක් ගොනු කර තිබුණේ පසුගිය 11 වනදායි.

එම අභියාචනා සමග විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීමේ අයදුම්පත්‍රද කොළඹ මහාධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය වෙත ඔවුන්ගේ නීතිඥයන් භාරදී තිබූ අතර, ඒ අනුවයි මෙම නඩුවේ තීන්දුව ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේම එම ඇප අයදුම්පත් සළකා බැලූණේ.