විදුලි වර්ජනයත් අවසන් අදියරට

Wednesday, 20 September 2017 - 18:50

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B6%A7
වර්ජනයේ නිරත විදුලි සේවකයින් සහ කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අතර මේ වනවිටත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා.

අද දහවල් එකට පමණ කම්කරු අමාත්‍යාංශයේ ආරම්භ වූ මෙම සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයට අයත් සියලූම සාමාජිකයින් එක්ව සිටින බව සඳහන්.

මේ වනවිට විදුලි සේවකයින්ගේ ඉල්ලීම්වලට අදාළව කම්කරු දෙපාර්තමේන්තුව සමග ගිවිසුමක්ද අත්සන් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ.

එම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව බොහෝදුරට විදුලි සේවකයින්ගේ වර්ජනය අවසන් කිරීමට ඉඩකඩ ඇති බව කම්කරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විදුලි සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 8 ක් ගතවනවා

මේ අතර වර්ජනයේ නිරත විදුලි සේවකයින් සදහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අද අවසන් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

එමගින් දැනුම් දුන්නේ දැනට වර්ජනයේ නිරත අනියම් සහ පරිවාස සේවකයින් හෙට දහවල් 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බවටයි.

එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කළේ.

එමෙන්ම ඉංජිනේරුවන් හැර අනෙකුත් සියලූම සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමටද ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ රාත්‍රියේ තීරණය කළා.

මේ අතර වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට එම වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක  සමග අද උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.