ඇප කොන්දේසි සපුරා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට පිටව යයි

Wednesday, 20 September 2017 - 19:07

%E0%B6%87%E0%B6%B4+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිල් රෙදි නඩුවට වරදකරුවන් කර සිරදඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ සහ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කොන්දේසි සහිත ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, ඔවුන් වෙනුවෙන් ගොනුකර තිබූ ඇප පෙත්සම් දෙක සලකා බැලීමෙන් අනතුරුවයි.

බන්ධනාගාරගත කෙරුණු ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සම් දෙක පසුගිය 14 වනදා සලකා බැලූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දන්වන ලෙසට නීතිපතිවරයාට නොතීසි නිකුත් කළා.

පෙත්සම් කොළඹ මහාධිකරණයේදී අද සලකා බැලූණේ ඒ අනුවයි.

අද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේ ඇප පනත යටතේ අධිකරණයේ අභිමතය පරිදි විත්තිකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.

එසේම විත්තිකරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා සහ නඩු තීන්දුවට එරෙහිව ඔවුන් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කර අවසන්වීමට වසර 03 කට වැඩි කාලයක් ගතවීම යන කරුණුද සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට නියෝග කළා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් ක් නියම කෙරුණු අතර, විත්තිකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කෙරුණා.

අදාළ ඇපකරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු අධිකරණ බලසීමාවේ පදිංචිකරුවෙකු වීම, අයෙකු රජයේ සේවකයෙකු වීම හා අනෙක් තැනැත්තා ළඟම ඥාතියෙකු විය යුතු බවටද විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.

අදාළ ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව පස්වරු 4.10 ට පමණ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට අධිකරණ භූමියෙන් පිටව ගියා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600 ක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල්රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව පසුගිය 7 වනදා ප්‍රකාශයට පත්කෙරුණා.

ඒ අනුව ඔවුන්ට වසර 3 ක බරපතල වැඩ සහිත සිරද`ඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂ 20 බැගින් දඩ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දියක් ගෙවන ලෙසටයි නියෝග කළේ.