පවුලක් ම එක් වී මහ දවල් කළ සොරකම

Friday, 22 September 2017 - 10:31

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8
දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම් කළ පවුලක් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබෙනවා.

මෙලෙස සොරකම් කිරීමට යාමේදී හසුවී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි මව පියා සහ ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනායි.

කෙසේ වෙතත් මොවුන් මීට පෙර අවස්ථාවකදී ද මෙම වෙළඳසැලෙන් භාණ්ඩ සොරකම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව වෙළඳසැලේ හිමිකරුවන් නැවත ඔවුන් පැමිණ අවස්ථාවේ CCTV දර්ශන වෙත විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

එහිදීයි අදාල පියා විසින් තමන් හැඳ සිටි ඇඳුම්වල භාණ්ඩ සඟවාගන්නා අයුරු දැක ඇත්තේ.

කුඩා ප්‍රමාණයේ භාණ්ඩ තම කලිසමට යටින් හැඳ සිටි ඇඳුමක ඔහු සඟවාගෙන ඇති අතර විශාල ප්‍රමාණයේ භාණ්ඩ කුඩා දැරියගේ පාසල් බෑගයට දමාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ එම පවුලේ මව විසින් ව්‍යාජ ලෙස දුරකථන ඇමතුමක් ගන්නා අයුරින් සැකකරු භාණ්ඩ සඟවාගන්නා අයුරු නොපෙනෙන ලෙස සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ වෙළඳසැලේ හිමිකරුවන් මොවුන් සිටිනා ස්ථානයට ගොස් ඔවුන් අල්ලාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී සොරකම සිදුකළ පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහරදී ඇඳුම් ගලවා ඒතුල සඟවාගෙන සිටි භාණ්ඩ පිටතට ගෙන තිබෙනවා.

මොවුන් විසින් එහිදී කිරිපිටි,  බිස්කට්, කුළුබඩු වැනි ද්‍රව්‍ය සොරාගෙන ඇති බවයි පසුව කළ පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ.

අනතුරුව මෙම පවුල දිවුලපිටිය පොලිසියට භාරදී ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.