මුහුදු යාමෙන් වලකින්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් - ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක ගමනාගමනයට බාධා

Wednesday, 29 November 2017 - 20:18

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
මුහුදු යාමෙන් වලකින්නැයි ධීවර සහ නාවික ප්‍රජාවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවධානමක් පවතින බවයි ඔවුන් නිවේදනය කළේ.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා තිබෙන තද සුළං තත්ත්වයක් හේතුවෙන් දේපොළ හානි රැසක් වාර්තා වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවුයේ දිවයිනේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි.

දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පැවතියා.

එම තත්ත්වය අද පස්වරුවේ වර්ධනය වී දැඩි සුළං තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

ඇතැම් ස්ථානවල ගස් කඩා වැටීම හේතුවෙන් ගාල්ල, හබරාදූව, හීනටිගල, නාගොඩ, යටලමත්ත, ආදී ප්‍රදේශවල විදුලි බලයද ඇන හිට තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.

වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල නගරයට බලපෑම් එල්ල වී තිබුණා.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සහ ගාල්ල කොළඹ දුම්රිය මාර්ගවල ද ගමනාගමනය ගස් කඩා වැටීම් හේතුවෙන් අවහිර වී තිබෙනවා.

පොලිසිය කියාසිටියේ ප්‍රදේශවාසීන් සමග එක්ව මෙම අවහිරතාවන් මගහැරවීමට කටයුතු කරමින් සිටින බවයි.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් ඇතිව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශ රැසක විදුලියද විසන්ධි වී ඇති බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ 145 වන සහ 147 වන සැතපුම් කනු අතර කොටසේ පස් කඳු කඩාවැටීම් 5 ක් සිදුව ඇති බැවින් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දක්වා පමණක් සිදුකෙරෙන බවයි.

අද පස්වරුවේ පැවති අධික වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයටද ගස් කඩා වැටී තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා මතුවී තිබුණද අවහිරතා මඟ හරිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි පැය 12 ක කාලය තුළ පැයට කිලෝමීටර් 80 ක පමණ ඉතා තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසිද අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි සහ ඉතා තද සුළං ඇතිවන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90 ත් 100 ත් දක්වා වැඩිවිය හැකි බවයි.

මේ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මෙම සුළං තත්ත්වය හෙට පස්වරුව දක්වාම පවතිනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්ද අද විවෘත  කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති නාය යාම් අනතුරු ඇගවීම අද මධ්‍යහ්න 12 ට ඉදිරි පැය 12 ක කාලය සඳහාත් දීර්ඝ කළ බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.