ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය මට්ටමක (ඡායාරූප)

Saturday, 10 February 2018 - 11:55

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි උද්යෝගයක් පවතින බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.

උදෑසන සිටම ඡන්දදායකයින් ඡන්දය භාවිතා කිරීම සදහා පැමිණෙමින් සිටින අතර, ඇතැම් ස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි ඔවුන් කියා සිටියේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50 ඉක්ම වන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එන්.ඒ.ඒ. පුෂ්පකුමාර සඳහන් කළේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන කාලයේදී සියයට 45කට ආසන්න වූ බව දිස්ත්‍රිත් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ කියා සිටියා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ද උද්යෝගයක් පැවති අතර, උදෑසන පැය කිහිපයක් තුළ සියයට 40ක් පමණ ඡන්දදායකයන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරිනී මාලනී ලොකුපොතාගම කියා සිටියේ සියයට 30ක පමණ ප්‍රතිශතයක් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ද සියයට 30ක පමණ ප්‍රතිශතයක් දැනට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව ද සියයට 25ක පමණ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තුසිත පී. වනිගසිංහ කියා සිටියා.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ද අද පෙරවරුවේ සියයට 25ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එසේම නුවරඑළිය දිස්ත්‍රිකයේ සියයට 20ක පමණ ප්‍රතිශතයක් අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කර තිබූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.බී.ආර්. පුෂ්පකුමාර සඳහන් කළා.

අද උදෑසන කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 30ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එහි තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් ද සියයට 20ක පමණ ප්‍රතිශතයකින් දැනට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩි.පී.ජී. කුමාරසිරි කියා සිටියා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ද මහත් උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කරන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී සුනිල් කන්නංගර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, උතුරු පළාතේ ඡන්දදායකයින් ද සාමකාමීව සිය ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට සිදුකරනවා.

එමෙන්ම මුලතිව්, නන්දිකඩාල් ප්‍රදේශයේදී ඡන්ද රාජකාරියේ නිරත නිලධාරීන් රැගත් වාහනයක් අද අලුයම අනතුරකට ලක්වූ බව වව්නියාව හිරු ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ සඳහන් කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ද මහත් උද්යෝගයෙන් ඡන්දය ප්‍රකාශ කරන බවයි හම්බන්තොට හිරු ප්‍රාදේශීය වාර්තාකරු සනත් කුමාර ගමගේ සඳහන් කළේ.




ඡායාරූප - වව්නියාව, රොමේෂ් මධුසංක / දඹුල්ල, කාංචන කුමාර