හිටපු ජනපති ඒකාබද්ධයේ නායකයන් කැඳවයි

Tuesday, 13 February 2018 - 12:52

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේදී පැවැත්වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට අමතරව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ද හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, බෙල්ලන්විල රජමහා විහාරයේ ඊයේ රාත්‍රියේ පැවැති ආශිර්වාද පූජාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්වූ අතර, ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ආණ්ඩුව කඩිනමින්ම මහමැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

නැතහොත් ජනතා මතයට හිස නමා ජනතාව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පළි ගැනීම වැනි කටයුතු ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනතාව ලබාදුන් පිළිතුර ද හරියාකාරව වටහා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.