රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Wednesday, 14 February 2018 - 15:32

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සිකුරාදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.   

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව අදත් අරලියගහ මන්දිරයේදි සාකච්ඡාවක නිරතවුණා.   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සාකච්ඡා අද පස්වරුවේ පවත්වනු ලැබුවේ කැබිනට් රැස්වීමෙන් අනතුරුවයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වූ පළමු කැබිනට් රැස්වීම මෙය වූ අතර, මෙහිදී ආණ්ඩුවේ විශේෂ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවටයි වාර්තා පළ වූයේ.

කෙසේ වෙතත්, එහිදී රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරුන් වන දයා ගමගේ, විජිත් විජයමුණි සොයිසා, සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක කියා සිටියේ.

යහපාලන ආණ්ඩුව තුල මතුව ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවුයේ ද විශේෂ සාකච්ඡාවක් සඳහායී.

එම සාකච්ඡාවේදී සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දෙපාර්ශවයම නියෝජනය කරමින් දස පුද්ගල කමිටුවක් පත්කිරීමට යෝජනා කෙරුණා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරාල සහ හරීන් ප්‍රනාන්දු නම් කර තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට ඇතුළත් අමාත්‍යවරුන් කවුරුන්ද යන්න මෙතෙක් නම් කර නොමැති බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අදාළ කමිටුවේ තීරණ මෙම සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කළත්, ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ දිනක් ඇතුළත ඒ පිළිබඳව අවසන් තීරණය තමා වෙත දැනුම් දිය යුතු බවයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු ආණ්ඩුවේ වෙනසක් සිදුවනු ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවට සඳහන් වුණා.

ඇතැම් මාධ්‍ය වාර්තා පළ වූයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කතානායක කරූ ජයසූරියගේ නම ඇතුළු තවත් නම් කිහිපයක් යෝජනා වී ඇති බවටයි.

කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කතානායක කරූ ජයසූරියගෙන් ඒ පිළිබඳව විමසා සිටි අතර, එහිදී කථානායකවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්ව නොමැති බවයි.

එමෙන්ම තමන් කිසිදු පක්ෂයක් නියෝජනය නොකරන බවත්, තමන් මේ රටේ කථානායකවරයා බවත් කරූ ජයසූරිය එහිදී ප්‍රකාශ කළා.