රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීරණය

Thursday, 01 March 2018 - 11:52

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ඊයේ (28) දිනයේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

පෞද්ගලික අංශය මගින් රාජාංගණ ජලාශයේ ජලය යොදාගෙන මෙම පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.  

මෙම ව්‍යාපෘතියට එරෙහිව රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානය ඊයේ දහවල් විරෝධතාවක් ආරම්භ කළේ තඹුත්තේගම කලාඔය පාලම අසළින්.

ගොවීන් දහසකට ආසන්න පිරිසක් පාදෙණිය - අනුරාධපුර මාර්ගය හරස් කර පැය 3 කට අධික කාලයක් විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව තඹුත්තේගම පොලිස් හන්දිය අසළට පැමිණ උද්ඝෝෂණයේ නිරතවුණා.

ඔවුන් එහිදී කියා සිටියේ අදාල ව්‍යාපෘතියෙන් තමන්ගේ ගොවිතැන් කටයුතුවලට බාධා එල්ල වන බවයි.

කෙසේ වෙතත් මහජනතාවට පීඩා ඇතිවන අයුරින් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් උද්ඝෝෂකයන් වෙත නියෝගයක් ද නිකුත් කර තිබුණා.

අධිකරණ නියෝගයද කඩ කරමින් මොවුන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර අතර එහිදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් එල්ල කළා.

පසුව පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිද්ධියෙන් පොලීසියේ පස්දෙනෙකු සහ විරෝධතාකරුවන් පස්දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මේ වනවිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ විරෝධතාකරුවෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශකයෙකු හිිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අධිකරණ නියෝග කඩකරමින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් ඊයේ (28) රාත්‍රියේ තඹුත්තේගම මහේස්ත්‍රාත් චමිලා නදීෂානි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු සහ සැකකාරියන් 3 දෙනෙකු ශරීර ඇප මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.