මහනුවර ඇඳිරි නීතිය ඉවතට - STF ආරක්ෂාව තව දුරටත්

Tuesday, 06 March 2018 - 6:31

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+-+STF+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (05)  පස්වරුවේ පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය අද (06) උදෑසන 6ට අවසන් වුණා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කලහකාරී සිද්ධීන් ඇති වූ තෙල්දෙණිය සහ දිගන යන ප්‍රදේශවලට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි.  

පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට අද උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

තෙල්දෙණිය ප්‍රදේශයේදී ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මඟ හරස් කර පහර දී තිබුණේ පසුගිය 22 වන දායි.

එහිදී තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියදී පසුගිය දා ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ මරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පෙරේදා රාත්‍රියේ (04) සිට තෙල්දෙණිය නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ඔවුන් වෙළඳසැල් කිහිපයක් ගිනි තබා විනාශ කර තිබුණා.

පහරදීමට විරෝධය පළ කරමින් පැවති විරෝධතා තෙල්දෙණිය නගරයේ සිට දිගන නගරය දක්වා ඊයේ උදෑසන වන විට ව්‍යාප්ත වූ අතර, එහිදී ද දේපළ හානි සිදුකරමින් එම පිරිස් විරෝධතාවල නිරත වුණා.

ඒ අනුවයි ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැදවනු ලැබුවේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් විසුරුවා හැරීම සඳහා තෙල්දෙනිය සහ දිගන නගර වලදී අවස්ථා දෙකකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිගන නගරයේදී සිදුකෙරුණා.

මේ අතර, ඇති වූ කලහකාරී සිද්ධියත් සමඟ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියළුම පාසල් අද (06) දිනයේ වසා තැබීමටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.