අද පස්වරු 4 සිට මහනුවරට ඇඳිරි නීතිය

Wednesday, 07 March 2018 - 17:15

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+4+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව අද (07) පස්වරු 4 සිට හෙට (08) පස්වරු 4 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා විසින් මෙලෙස මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බවයි.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සියලු රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර සෙසු සියලුදෙනා මෙම කාලසීමාව තුල මහා මාර්ගවල, දුම්රිය මාර්ගවල, උද්‍යානවල, විනෝදාස්වාද පිටියක හෝ වෙනත් කිසියම් හෝ පොදු ස්ථානයක සිටීම හෝ ඒ  හරහා යාම තහනම් වනු ඇති.

එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසිදු පුද්ගලයෙකුට හදිසි අවශ්‍යතාවක් මතුවන්නේ නම් අදාළ අවශ්‍යතාව සඳහන් කර කුමන හෝ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බවයි පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ.

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සියලූ පොලිස් නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලූ පොලිස් නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමටද කටයුතු කර තිබෙනවා.  

එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පොලිස් මුලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙකු සහ පොලිස් අධිකාරීවරු තුන්දෙනෙකු බැගින් වූ විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් මහනුවර ප්‍රදේශයට පිටත් කර හැරීමටයි තීරණය වී ඇත්තේ.

කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අටදෙනෙකු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර නැවත දැනුම්දෙන තුරු මෙරට සන්නිවේදන ජාල හරහා ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණයට එළඹුණු බවයි.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්අප් යන සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර වනු ඇති.

එමෙන්ම මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීම සහ  පවතින තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත් බවයි.

මීට අමතරව සති අන්තයේදී මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ පාසල් ක්‍රිකට් තරග 2 ක්ද දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මෙලෙස කල් දමා ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාල අතර ආරම්භ වීමට නියමිතව තිබූ 101 වන කන්ද උඩරට නිල් මහා සටනයි.

එමෙන්ම මහනුවර විද්‍යාර්ථ සහ ශාන්ත සිල්වෙස්තර විදුහල් අතර සුරතලූන්ගේ මහා ක්‍රිකට් සටනද කල් දමා තිබෙනවා.