මහනුවර ඇඳිරි නීතිය නැහැ

Saturday, 10 March 2018 - 17:38

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මහනුවර ප්‍රදේශයට අදින් පසු ඇඳිරි නීතිය නොපැනවෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.

මහනුවර ප්‍රදේශය තුල මේ වන විට සම්පුර්ණයෙන් සාමාකාමී වාතරවණයක් ගොඩනැගී ඇතැයි ද ඔහු සඳහන් කළා.

පසුගිය දින කිහිපය පුරා එම ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඇදිරි නීතිය පනවනු ලැබුවා.

මේ අතර මහනුවර ප්‍රදේශයේ සිදුවු සාපරාධී ක්‍රියාවන් පිළිබඳ විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර අම්පාර සහ මහනුවර ප්‍රදේශ කේන්ද‍්‍ර කර ගනිමින් සිදුකළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

මෙම මෙහෙයුම් මැදිරිය මගින් ලබාගන්නා තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත යොමුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු 011 3024892 හෝ 011 3024883 අංකව ඔස්සේ ලබාදිය හැකියි.

ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ද තොරතුරු යොමුකළ හැකි බවයි පොලිසිය කියාසිටියේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරි සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබුණා.

ඒ විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු ඇතුළත් වන අයුරින්.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අද පෙරවරුවේ එහි පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, දිගන, කෙන්ගල්ල හා අකුරණ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

අනතුරුව, ඔහු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමට ද එක්වු අතර ඒ සදහා ප්‍රදේශය නියෝජනය කරන මැතිඇමතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින් ද එක්ව සිටියා.

මේ අතර, කතානායක කරූ ජයසුරිය සහ පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද අද දහවල් මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

ඔවුන් ප්‍රථමයෙන් මල්වතු විහාරයට ගොස් අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර උන්වහන්සේ කතානායකවරයා, අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු පිරිසට අනුශාසනා කළා.   

අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් පිරිසට උන්වහන්සේ ආශිර්වාද කළා.

ඒ සදහා අමාත්‍ය රිෂාද් බදියුදීන් ද එක්ව සිටියා.

අනතුරුව ඔවුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද එක්වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද පවතින තත්ත්වය පිලිබඳව නිරීක්ෂණය කිරීම සදහා අද දහවල් අකුරණ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරි සිද්ධීන් ඇති වූ ප්‍රදේශවල සාමකාමී තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එම ප්‍රදේශවල ජන ජිවිතය සාමාන්‍ය අතට පත්වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.