ෆේස්බුක් ප්‍රවේශයට පැවති අවහිරතා ඉවත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Thursday, 15 March 2018 - 12:59

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශවීම වළක්වාලමින් පනවා තිබූ තාවකාලික අවහිරය ඉවත් කරමින්, වහාම ක්‍රියාත්මක වන පරිදි එය සක්‍රීය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදුලි සංදේශ කොමිෂන් සභාවට අද (15)  නියෝග කළා.

ඒ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේ තීරණ සහ එකඟතා පිළිබඳව ජපානයේ සිට විමසා බැලීමෙන් අනතුරුවයි.

මාර්තු 07 වැනිදා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් වෙත ප්‍රවේශවීමේ වාරණය පැනවූ අතර, පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ සිට වයිබර් වෙතද ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට වට්ස්ඇප් වෙතද ප්‍රවේශවීමට යළි අවස්ථාව සැලසුණා.

ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර අද පැවති සාකච්ඡාව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරීයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව පැවති එම සාකච්ඡාවේදී වර්ගවාදී, ආගම්වාදී වෛරී ප්‍රකාශ පැතිරී යාම නියාමනය කිරීම සඳහා ක්‍රමවේද සහ ආයතනික ව්‍යුහයන් ස්ථාපනය කිරීම සඳහා ෆේස්බුක් බලධාරීන් එකඟ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, මෙම තාවකාලික සමාජ මාධ්‍ය අවහිරය හේතුවෙන් පොදුවේ සමාජ මාධ්‍ය භාවිත කරන ප්‍රජාවට සිදුවු අපහසුතාව පිළිබඳවද රජය කණගාටුව පළ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එමෙන්ම, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතරද හමුවක් අද (15) අරලියගහ මන්දිරයේදී සිදුව තිබෙනවා.