5 දෙනෙකුට මරු කැඳවූ හොරණ රබර් කම්හලේ කළමණාකරු අත්අඩංගුවට

Thursday, 19 April 2018 - 17:44

5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%AB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
5 දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කම්හලක සිදුවූ අනතුරට අදාළව එම ආයතනයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එම රබර් කර්මාන්ත ශාලාවේ ගත යුතු ආරක්ෂක පියවර නොගෙන අපරීක්ෂාකාරීව ක්‍රියාකිරීම සහ ඒ හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියයාමට අදාළව කළමණාකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය ප්‍රකාශ කළා.

හොරණ - බුලත්සිංහල මාර්ගයේ පිහිටා ඇති මෙම රබර් සැකසුම් පෞද්ගලික කර්මාන්ත ශාලාවේ අප ජලය බැහැර කරන ටැංකියට අද පස්වරු 1.20 ට පමණ සේවකයෙක් ඇද වැටී තිබෙනවා.

එම සේවකයා බේරා ගැනීම සඳහා තවත් සේවකයින් පිරිසක් උත්සාහ කර ඇති අතර, පසුව ඔවුන් ගම්වාසීන්ගෙන්ද උදව් ඉල්ලා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකු සිහිසුන්ව කරන ටැංකියට ඇද වැටී තිබෙනවා.

සිහිසුන් වූ පුද්ගලයින් කඩිනමින් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට අවට සිටි පිරිස පසුව කටයුතු කළා.

ජල ටැංකියට වැටුණු පිරිස ගොඩ ගැනුණේ හොරණ නගර සභාවේ ගිනි නිවීම් සහ ආපදා ඒකකය විසින්.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර විසින් අද පස්වරුවේ සිදුකළ අතර, අනතුර සිදුවු ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමද පැමිණියා.

මෙම කර්මාන්ත ශාලාවේ අප ජලය බැහැර කරන ටැංකිය අනාරක්ෂිත බව සහ එමඟින් පරිසර හානියක් සිදුවන බවට දිගින් දිගටම පාලනාධිකාරියට දැනුම් දුන්නද කිසිදු පියවරක් නොගත් බවටයි ප්‍රදේශවාසීන් මෙහිදී චෝදනා කළේ.

අද සිදුවු මෙම අනතුර පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය අදාළ කර්මාන්ත ශාලාව පිහිටි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලරත්න දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

එහිදී ඇය කියා සිටියේ ටැංකියට අප ජලය රැගෙන යන නලය කම්කරුවෙකු විසින් විවෘත කිරීමට යාමේදී විෂ වායුව කාන්දු වී ඇති බවට සැක කරන බවයි.

එම අවස්ථාවේදී අදාළ කම්කරුවා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නොමැති බවටද ඇය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.