විපක්ෂයේ අසුන් ඉල්ලා ආණ්ඩුවෙන් ගිය 16, පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක් භාර දෙයි

Friday, 27 April 2018 - 10:39

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+16%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (27) ලිිපියක් භාර දුන්නා.

ඒ අනුව, ලබන 8 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසියේ සිට විපක්ෂයේ අසුන් ගෙන කටයුතු කරන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න කියා සිටියේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ලිපිය භාරදීමේ අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු පොදු ප්‍රතිපත්ති මාලාවක් රටට හමුවේ තබන බවයි.   

අද අවශ්‍ය වන්නේ පුද්ගලයින් වටා නොව ප්‍රතිපත්ති වටා ජනතාව එක්රැස් කිරීම බවයි ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරුන් 16 දෙනාම මෙම ලිපියට අත්සන් තබා ඇති අතර, එලෙස අත්සන් තැබූ මන්ත්‍රීවරුන් 08 දෙනෙකු මහ ලේකම්වරයා වෙත ලිපිය භාරදීමේ අවස්ථාවට එක්වුණා.

මේ අනුව මෙම මන්ත්‍රීවරුන් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන ලබන 08 වැනිදා රතු පලස හරහා ගොස් විපක්ෂයට එක්වීමක් සිදුනොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න සඳහන් කළේ.