ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් ජංගම දුරකථන සහ සිම් කාඩ් සොයා ගනී

Thursday, 05 July 2018 - 15:29

%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ගේ බන්ධනාගාර සිරමැදිරියේ තිබී ජංගම දුරකථන 3 ක් සහ සිම් කාඩ් පත් 5 ක් සොයා ගෙන තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කළේ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

එසේම, 2017 වසරේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අයත් සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියාට ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන 5 ක චෙක්පතක් ලබාදී ඇති බව ද එම දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් අදාළ චෙක්පත රැගෙන ගිය කුරියර් සමාගමේ නිලධාරියා සාක්ෂි ලබාදී ඇති බව ද එහිදී අනාවරණ වුණා.

එසේම, 2015 පෙබරවාරි 6 වනදා සහ සැප්තැම්බර් 30 අතර කාලය තුල පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, රුපියල් මිලියන 173 යි දශම 8 ක මුදලක් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට ප්‍රේශණය කර ඇති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙහිදී ප්‍රකාශ කළා.

එසේම, 2015 ජනවාරි 30 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 1137 ක් වටිනා චෙක්පත් 2487 ක් නිකුත් කර ඇති බවත්, ඊට අදාළ බහුතර වවුචර්පත් අස්ථාන ගත වී ඇති බවත්, එහිදී අනාවරණ වුණා.

ඒ හේතුවෙන් අදාළ චෙක්පත් වලට අදාළ ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සමාගමේ ලිපි ලේඛන හා පරිගණක ලබන සදුදා පරීක්ෂා කර සිය භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අද අවසර ලබාදුන්නා.

එමෙන්ම, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ප්‍රධාන කාර්යාලයේ පරිගණක දත්ත පද්ධතිය සක්‍රිය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේ.

කිසිවෙකු ඊට බාහිර බලපෑමක් මගින් හානිකර ඇත්දැයි පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන ලෙස අධිකරණය පසුගියදා නියෝග කළ අතර ඒ අනුව, එහි තත්ත්වය අද පැහැදිලි කෙරුණා.

සිදුකළ පරීක්ෂණවලදී පරිගණක දත්ත පද්ධතියට කිසියම් හානියක් සිදුකර ඇති බව පෙනී යන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු විභාගයේදී කියා සිටියා.

මේ අතර, අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස්ට සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකුට අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම ද අධිකරණය අද තහනම් කළා.

නඩු විභාගය අවසන් කෙරුණේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි.

එසේම, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රාථමික වෙළදපොලේ සිදුකරන ව්‍යාපාර කටයුතු සඳහා පැනවූ තහනම තවත් මාස 6 ක කාලයකට දීර්ඝ කිරීමට මහබැංකුව අද  තීරණය කළා.