මිලියන 3336ක හෙරොයින් සමඟ, බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට

Monday, 31 December 2018 - 16:47

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3336%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් මිලියන 3336ක් පමණ වටිනා හෙරොයින් ගබඩා කර තිබූ දෙහිවල - කවුඩාන මාර්ගයේ නිවසක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් එහි සිටි බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගනු ලැබුවා.

දෙමහල් නිවසක් වන මෙහි ස්ථාන රැසක අසුරා තිබූ මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 278 ක් බවයි වැටලීමට එක්වූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

එසේම රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් ද එම නිවස තුළ තිබී සොයාගෙන තිබෙනවා.

අවුරුදු 30ක් පමණ වයසැති මෙම බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා අදාළ නිවස කුලියට ගෙන කාලයක් එහි රැඳී සිට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මීට සති කිහිපයකට පෙර මෙම නිවස සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබූ අතර, සිදුකළ දීර්ඝ නිරීක්ෂණයකින් අනතුරුවයි අද නිවස වටලනු ලැබුවේ.

එහිදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා මෙහි සිට දිවයිනේ විවිධ ස්ථාන වෙත මත්කුඩු බෙදා හැර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ඒ සඳහා මෙරට පුද්ගලයින් ද සම්බන්ධ බවට සැක කෙරෙන අතර, ඒ පිළිබඳව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, සිය ගමන් බෑගයේ පතුලේ සූක්ෂමව සඟවා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 280ක් රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ රාත්‍රියේ ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

30 හැවිරිදි වියේ පසුවන මොහු දිවයිනට පැමිණියේ බැංගලෝරයේ සිටයි.