අදත් පාසල් සිසුන්ගේ පැමිණීම දුර්වලයි

Tuesday, 07 May 2019 - 19:17

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අදත් දිවයින පුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 5 ත් 10 ත් අතර අවම මට්ටමක පැවති බව ගුරු සංගම් ප්‍රකාශ කරනවා.

අද දිනයේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයට සිසුන් 25 දෙනෙකු පමණක් පැමිණ සිටි අතර, තර්ස්ටන් විද්‍යාලයට පැමිණ තිබුණේ සිසුන් 21 දෙනෙකු පමණයි.

මහනාම විද්‍යාලයට සිසුන් 31 ක්, නාලන්දා විද්‍යාලයට සිසුන් 40 ක්, ආනන්ද විද්‍යාලයට සිසුන් 72 ක්, ඉසිපතන විද්‍යාලයට සිසුන් 88 ක් සහ රාජකීය විද්‍යාලයට සිසුන් 400 ක් පමණක් අද දිනයේ පැමිණ තිබුණා.

මීට අමතරව ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට පැමිණ තිබුණේ එක් සිසුවියක් පමණයි.

එමෙන්ම ආනන්ද බාලිකා විද්‍යාලයට සිසුවියන් 25 දෙනෙකුත්, ගෝතමී බාලිකා විද්‍යාලයට සිසුවියන් 47 දෙනෙකුත්, විශාකා විද්‍යාලයට සිසුවියන් 50 දෙනෙකු පැමිණ සිටි අතර, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට සිසුවියන් 60 දෙනෙකු පැමිණ සිටි බව සඳහන්.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට සිසුවියන් 63 දෙනෙකු සහ අනුලා විද්‍යාලයට සිසුවියන් 71 දෙනෙකුත් පැමිණ තිබුණා.

මීට අමතරව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඊයේ දිනයේ මෙන්ම අදත් සිසුන්ගේ පැමිණීම අඩු මට්ටමකයි පැවතුණේ.

කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ මැති ඇමතිවරුන්ගේ දරුවන් පවා අද දිනයේදී පාසල් නොගොස් ඇති බවයි.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙමව්පියන් තුළ තවදුරටත් තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව පවතින අවිනිශ්චිතතාවයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවයි.

එමෙන්ම එම තත්ත්වය වහා වෙනස් කිරීමටද ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි ලංකා ගුරු සේවා සංගමය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේ ආරක්ෂක අංශ ලබාදුන් සහතිකයට අනුව පාසල් ආරම්භ කිරීමට තමන් තීරණය කළ බවයි.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.