වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයන් ගැන විමර්ශනයක්

Wednesday, 08 May 2019 - 14:42

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයන් 9 දෙනෙකු පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී පොලීසියෙන් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එවැනි දෝෂයක් පොලීසියෙන් සිදුවී ඇත්නම් ඊට අදාළව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ - සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඞ්ට මෙම තඹ කර්මාන්තශාලාව අයත් වන අතර, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි සේවකයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

පසුව ඉන් 9 දෙනෙකු පෙරේදා ඇප මත මුදාහැරුණා.

එහිදී අධිකරණය ප්‍රකාශ කළේ සැකකරුවන් කුමන නීතියක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි බවක් නොමැති නිසා ඔවුන් ඇප මත මුදාහරින බවයි.

මේ අතර ජාතික හවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ ගෝලයෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50,000ක අල්ලසක් ලබාදීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න සමරවීර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මාළිගාවත්ත - ජුම්මා පල්ලිය අසළ ළිඳක තිබී අද දහවල් කඩු 46 ක්, ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත්තා.

එසේම කොහිලවත්ත - ඩොනල්ඞ් පෙරේරා මාවතේ ඇළක තිබී ජාතික තව්හිත් ජමාත් සංවිධානයට අයත් සී. ඩී සහ කැසට් පට තොගයක් පොලීසිය විසින් අද සොයාගනු ලැබුවා.

ඒ, අදාළ ප්‍රදේශයේ පාලමක ඉදිකිරීම් සිදුකරමින් සිටි පිරිසක් සිදුකළ දැනුම්දීමක් අනුවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව කැළණි ගෙඟ් මල්වාන ප්‍රදේශයෙන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගං පතුලේ තිබූ කඩු සහ තියුණු ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර ජීව උණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කඩුවෙල - තුන්අදහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේද ඊයේ දිනයේදියි.

මීට අමතරව රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඉස්ලාම් අන්තවාදී දේශන අඩංගු බවට සැක කෙරෙන කැසට් පට 14 ක් සහ කොච්චිකඩේ දේවස්ථානයේ ඡායාරූප සහිත තොරතුරු පත්‍රිකාවක්ද සොයාගෙන තිබෙනවා.

සීදූව - කටුනායක මාර්ගයේ මුතුවාඩිය ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා සිදුකළ සෝදිසියකදී ලොරි රථයකින් ප්‍රවාහනය කළ ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1116 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෑගල්ල යුද හමුදා කඳවුරට ලද තොරතුරක් මත මාවනැල්ල - හිඟුල ප්‍රදේශයේ වෙළඳසැලක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී වෙඩි බෙහෙත් කිලෝ 700ක ප්‍රමාණයක් සොයාගත් අතර, එහි තිබී ජාතික තවුහිත් ජමාත් සංවිධානයට අයත් සී.ඩී. තැටියක්ද සොයාගෙන තිබෙනවා.

මේ අතර ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරියා වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුලූ පිරිසක් මීගමුව ප්‍රදේශයේ අද සංචාරයක නිරතවුණා.  

මේ අතර හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩුදෙන තොරතුරක් දැනුම්දීමට ඇත්නම් දුරකථන අංක 1 1 3 මගින් තම මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය අමතන ලෙසට යුද හමුදාව ජනතාවට දැනුම් දුන්නා.