පාසල් කටයුතුවලට බාධා සිදුකරන ප්‍රකාශවලට එරෙහිව විනයානුකූල පියවර

Wednesday, 08 May 2019 - 16:02

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
විවිධ දේශපාලන අරමුණු සහ පෞද්ගලික කරුණු මත පදනම්ව යම් කණ්ඩායම් විසින් පාසල් කටයුතුවලට බාධාවන අන්දමින් සිදුකරන ප්‍රකාශවලට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙසට බලපෑම් කරන බවට පැමිණීලි ලැබී ඇති බවයි.

එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පැවතියද අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර අදත් පාසල්වලට සිසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා.

කොළඹ අනුලා විද්‍යාලයේ සිසුන් 120 දෙනකු පමණක් අද පාසල් පැමිණ සිටි අතර, තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 31 දෙනෙකු පමණක් පාසල් පැමිණ තිබුණා.

මහනාම විද්‍යාලයේ සිසුන් 41 ක්, නාලන්ද විද්‍යාලයේ 47 ක්, විශාකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 145 ක් සහ ආනන්ද විද්‍යාලයේ සිසුන් 68 ක් අද පැමිණ තිබූ බවයි වාර්තාවන්නේ.

ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසුන් 67 ක්, රාජකීය විද්‍යාලයේ සිසුන් 500 ක්, ඉසිපතන විද්‍යාලයේ සිසුන් 137 ක් සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 300 ක් පාසල් පැමිණි බව සඳහන්.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ පාසල් ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම පසෙක තබා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවයි.

එසේම පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියන් පිරිසක් හිජාබයෙන් සැරසී පාසල වෙත ඊයේ පැමිණ තිබූ අතර, ඊට දෙමව්පියන් පිරිසක් විරෝධය පළ කර තිබුණා.

අනතුරුව ඔවුන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවී ඇති අතර, අදාළ ගුරුවරියන්ගේ ඉල්ලිම මත වෙනත් පාසල් ලබාදීමට තමන් කටයුතු කරන බවයි එහිදී ඔහු එකඟ වී ඇත්තේ.

මේ අතර දිවයින පුරා පිහිිටි දහම් පාසල් සමස්ත පාසල් පද්ධතිය ආරම්භ වූ පසු විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, සියලූ අධ්‍යයන වසරවල සිසුන් සඳහා ලබන 14 වනදා ආරම්භ වන බව එම විශ්ව විද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

මේ අතර සිසුන් බියගැන්වීමේ අරමුණින් වැල්ලවාය ප්‍රදේශයේ පාසලක් අසළ බෝම්බයක් ලෙස හැඟවෙන පරිදි පාර්සලයක් තබා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක්ද අද වාර්තාවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඔවුන් හෙට දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.