ආරක්ෂාව තහවුරුයි - සාමාන්‍ය පරිදි දෛනික කටයුතුවල යෙදෙන්නැයි රජය ඉල්ලයි

Saturday, 11 May 2019 - 14:23

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතුවල නිරතවන්නැයි ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ජනතාවට දැනුම් දෙනවා.

ඔහු මේ බව කියා සිටියේ ආරක්ෂක වාතාවරණය පිළිබදව අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීතිවිරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට ඒ පිළිබදව ළඟම පොලීසියට දැනුම් දීමට අද පෙරවරු 6 සිට දින 3ක් කාලයක් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්තන් ඒවා පිළිබදවත් එය තබා ඇති ස්ථානය පිළිබදවත් ළඟම පොලීසිය වෙත දැනුම් දිය හැකි බවයි.

එහිදී එම ස්ථානයට ගොස් අදාළ පුපුරණ ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන ඒ පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් භාරකරුවන් මියයාම නිසා අවතැන්ව සිටින දරුවන් පිළිබද තොරතුරු දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.

මීට අදාළ කටයුතු සිදුකරන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය එම තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක 3 ක් හදුන්වා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

ඒ අනුව, 0112 44 44 47/ 0112 33 70 39 හා 0112 33 70 42 යන දුරකථන අංකවලට එම දරුවන් පිලිබද තොරතුරු ලබාදිය හැකියි.

මේ අතර, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්සාම් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිට භාණ්ඩ රැගෙන ගිය තවත් ගබඩාවක් ඊයේ රාත්‍රියේ යුද හමුදාව විශේෂ පරීක්ෂාවට ලක්කළා.

ඒ තඹ කර්මාන්තශාලාවේ පැවති භාණ්ඩ තොගයක් බහාලූම් දෙකකින් ප්‍රවාහනය කළ බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු වලට අනුවයි.

ලොරි රථ දෙකක පැටවූ භාණ්ඩ තොගයක් වැල්ලම්පිටිය - කැළණිමුල්ල ප්‍රදේශයේ පිහිටි වෙනත් ගබඩාවකට රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබදව සැක සිතූ ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ එම ගබඩා පරිශ්‍රයට පැමිණ විරෝධය පළ කළා.

පසුව එම ස්ථානයට යුද හමුදා සෙබලූන් පැමිණ අදාළ ලොරි රථ දෙක පරීක්ෂාවට ලක් කළ ද එහි තිබී සැක කටයුතු කිසිවක් හමුවූයේ නැහැ.

පසුව වැල්ලම්පිටිය - කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව ද යුද හමුදා සෙබලූන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණ ද කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බව සදහන්.